දින 7ක් පුරාවට දන් දුන් වගයි

“නිවන පූර්ණය කරගන්නා ප්‍රඥාවන්තයාගේ පළමු පියවර ඇරඹෙනුයේ දානය තුලිනුයි... අතහැරීම ප්‍රගුණ වන දානය සුළු පටු කොට නොසිතුව මනාය!“

දින 7ක් පුරාවට දන් දුන් වගයි

  01 සැප්තැම්බර් 2014

ත්‍රිපිඨක සත්ධර්මය ඇසුරු කරන විටදී බොහෝ අවස්ථාවලදී දින 7ක් අඛණ්ඩව දන් දුන් බව කියැවෙන අවස්ථා දකින විට එසේ කල යුතුයි යන සිතිවිල්ල සිතට නැගුනේ සසර පුරුද්දක් ලෙසින්මය.  එහෙත් කිසිදු ආර්ථික මට්ටමක් නැතිව මහණ දම් පුරන්නවුන් සේම අන් අයගෙන් යැපෙන අප මෙවන් වූ දානයක් සිදුකල යුතු අන්දම සංවිධානය කරගත යුතුවිය.  ඒ අනුව අප සමඟ බොහෝ හිතවත් ගෞරවණීය හිමිවරුන් සමඟ සාකච්ඡා කොට ඉතාමත් සුළුවෙන් අපට හැකි අයුරින් සර්ව සම්පූර්ණ මහා දානයක් සංකේතවත් කරමින් මෙය සිදුකරන්නට සූදානම් විය.  අවංකවම යහපත් දෑ පිණිස කැපවන විට එය විශ්වයෙන් ලැබෙන සහාය මෙතැකැයි කිව නොහැකි විය. නොසිතූ ආකාරයට අපව දන්නා නොදන්නා බොහෝ පිරිසක් නොසිතූ ආකාරයෙන් මුදල් පරිත්‍යාග කරන්නට යෙදුනේ ඉතාමත් සුළු ආරංචියක් ලැබූ පමණින්මය. 

ඒ අනුව 2014 වර්ෂයේ සැප්තැම්බර් මස 1 වන දින සිට 7වන දිනය දක්වා අඛණ්ඩව මහා සංඝරත්නයට නිවසට වඩමවා මහා දානමය පින්කමක් බලාපොරොත්තුවූ ආකාරයටත් වඩා සාර්ථකව උසස් අන්දමින් කරගන්නට හැකි විය.

“මහණෙනි, සත්පුරුෂයන් තුල දීම කෙරෙහි මෙම කරුණු 8 විද්‍යාමාන වේ.  ඒ කරුණු 8 කුමක්ද?  පිරිසිදුව දන්දෙයි, ප්‍රණීතයෙන් දන් දෙයි, නියමිත කාලයේදී දන් දෙයි, සුදුසු දෑම දන්දෙයි, දන්දීමට පෙර දානය ලබන්නා කෙරෙහි පරික්ෂාකාරී වී දන් දෙයි, නිතරම දන් දෙයි, පිරිසිදු සහ සතුටු වූ සිත් ඇතිවම දන් දෙයි, දන් දීමෙන් පසුවද ඔවුන් සතුටු වෙයි පැහැදෙයි.  මහණෙනි මෙන්න මේ කරුණු 8 සත්පුරුෂ දානයෙහි දක්නට තිබෙන කරුණු 8කි. (සත්පුරුෂ දානය සම්බන්ධයෙන් පෙන්වූ සූත්‍ර දේශනාවේදී බුදු හිමියන් පෙන්වා දෙන ලදී)

ඉතින් මේ කරුණු 8 කිසිදු අඩුවක් නැතිව පැවැති මෙම දානයේ අරමුණු සහ එය පැවැත්වූ ආකාරය දැකගන්නට එයට සිතින් සම්බන්ධ වී සිතින්ම එවැනි දානයක් නැවත නැවත ලබා දී ඔබ කරගත්තා සේ පැහැදෙන්නටද මෙසේ අවස්ථාව ලබාදෙමි.