යටාල පින්බිමට ශ්‍රමයෙන් දානය

“කරන්නාවූ දෑට ප්‍රශංසාවන් බලාපොරොත්තුවෙන් තොරව, කරගත නොහැකි වූ දෑට අවලාද දොස් තබන්නේ නැතිව තමන්ට කල හැකි යුතුකම් කොටස නොඅඩුව ඉටු කරන්නේ නම් විශ්වයෙන් ලැබෙන ආශිර්වාදයේ තරම ඔබටම අත්දැක ගත හැකිවනු නොඅනුමානයි!“

යටාල පින්බිමට ශ්‍රමයෙන් දානය

  02 දෙසැම්බර් 2012

කතරගමට යන අතරවාරයේ නෙත ගැටුණ මහා විශාල දාගැබත් ඒ අවට අපිරිසිදුවට පන්වලින් වැසී තිබූ පොකුණත් දුටු විට සිතට නැගුණේම එය පිරිසිදු කර දිය යුතු බවයි.  හිතවතුන් පිරිසක් එකතු කරගෙන මෙම පුදබිම පුදන්නට නිසි පිරිසිදු බිමක් කරන්නට සිත්විය.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය සහ සහාය ඇතිව අප 10 දෙනෙකු පමණ පිරිසක් එකතුව මෙම පුදබිමට ශ්‍රමයෙන් දායකත්වය ලබාදීම පිණිස එකතුවිය.  දිය කූඩැල්ලන්ගෙන් අඩුවක් නැති පොකුණ තුලදී අප අඩුවක් නැතිව ලේ  දන්දීමක්ද සිදුකරන්නට වුණා.

පොකුණක් ලෙසින් දිස්වුවද එය සැබෑවටම දාගැබේ වැලි මළුව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැවසූ අතර නිසි ලෙසින් ජලය බැස යෑමට අවශ්‍ය කරන පහසුකම් නොමැති නිසා මෙය පොකුණක් සේ දිස්වේ.  හතර දිසාවම පන් වලින් බහුලව අපිරිසිදුව තිබූ අතර දිනය අවසාන වන විට තුන් දිසාවක් අවසාන කිරීමට අප සමත්විය.  දාගැබේ පසු පස පෙදෙසේ පන් ගැලවීමට ඉතාමත් දුෂ්කර වූ අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසන් කිරීමට පොරොන්දු විය.  මේ සත්කටයුත්ත අවසානයේ විශ්වයෙන් නැගෙන අපූරු ආශිර්වාදයන් ලැබීමේ අත්දැකීම් වලටද මුහුණ දුන් අතර අදටත් පන් වලින් තොරව පිරිසිදුව පවතින මෙම පුදබිම දුටු විට සිතට දැනෙන්නේ ඉමහත් සතුටකි. 

ඉතිහාස කථාවට අනුව නම් මේ දාගැබ ක්‍රි.පූ 300 වන සියවසට පමණ අයිති මේ පුදබිම යටාලතිස්ස රජු විසින් කරවන ලදී.  තවමත් ඉතාමත් ඉපැරණි නටඹුන් මෙම පුදබිම තුල දක්නට ලැබෙන අතර පුරාවිද්‍යා කෞතුකාගාරයක්ද මෙම ස්ථානයේම ඇත.  මේ වන විට කතරගම කොළඹ මහා මාර්ගය යෙදී තිබෙන්නේද මෙම පුදබිමේ මළුව මතින් බව පුරාවිද්‍යා නිලධාරීන් විසින් පැහැදිලි කර දුන්නා.