සඳහිරු සෑ වන්දනා

“රුවන්වැලි සෑ රඳුන් මෙන් අනාගතයේ පුදන්නට යෙදෙන මේ මහා සෑ රඳුන් නිමකරන්නට සැඳැහැසිතින් එක්රැස්ව අනන්ත අප්‍රමාණ පින් රැස්කරගන්නට ඔබටද මෙසේ අවස්ථාව උදාවන වගයි. ලත් දුර්ලභ අවස්ථාව වටහාගැනීමම ඔබට බොහෝ යහපත පිණිස හේතුවනු නොඅනුමානයි!“

සඳහිරු සෑ වන්දනා

  25 නොවැම්බර් 2014

සඳහිරු සෑ රඳුන් අනුරාධපුර නගරයේ සාරානන්ද පිරි‍වෙණ ඉදිරිපිට භූමියේ ඉදිවෙන අතර අඩි 279 උසින් යුතුව නිම කරන්නට නියමිතයි.  මිලියන 30ක් පමණ ගල් භාවිතා කරන අතර සිමෙන්ති මලු 40,000ක ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මිලියන 25ක මුදල් පරිත්‍යාගයකින් ආරම්භ වූ මෙම පුණ්‍ය කටයුත්ත ත්‍රිවිධ හමුදාවට අයත් භට පිරිස්ගේම සියතින් නිමකරන්නට කටයුතු සම්පාදනය වී තිබේ.  

සිංහලයේ රජුන් සිටි කාලයට පසු මෙවන් මහා දාගැබක් නිර්මාණය කොට ශාසනයට පූජා කරන්නට යෙදුන පළමුවෙනි අවස්ථාවද මෙයම විය.  භෞතික ලෝකයේ මතවාද වලින් වල්මත්ව දේශපාලනික කුණු මත අතරමංව මන විකෘතිව සිටින්නාවූ බොහෝ පිරිසකට අවසනාවකට වගේ මේ වටිනා අවස්තාව තවමත් තේරුම්ගැනීමට නොහැකිවී තිබේ.  මහා බුද්ධ පූජාවකට කලා වූ ඒ විශාල ප්‍රමාණයේ අවලාද උපවාදයන්, සැදැහැ සිතින් මෙම පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වූ පිරිසට ඒ අවස්ථාව අහිමි කලාවූ ඒ අවාසනාවන්තභාවයත් යන සියල්ලම තවමත් වටහාගත නොහැකිව සිටී.  අන්න ඒ නිසා ප්‍රඥාවන්තව දැන්වත් සිදුවූ අඩුපාඩු වරද නිවැරදි කරගැනීම උදෙසා මෙම පුංචි වෑයමත් උපකාරයක්ම වේවා.

වසර 30ක් තිස්සේ ලක්බිම පැවති කුරිරු යුද්ධය ගැන අමුතුවෙන් විස්තර කල යුතුව නැත.  සියදහස් ගණනින් ජීවිත බිලිගත් මේ යුද්ධය මෙකල ජීවත්වූ බොහෝ පිරිසකට අමතක නොවන අත්දැකීමක්ව ඇත.  යුද්ධය යනු යහපත් දෙයක් නොවන බව නැවත නැවතත් කිව යුතු නැත.  යුද්ධයක් අවසානය යනු එක් පාර්ශවයකට ලෝක සම්මත ජයක් ලබා දෙන්නක්මය.  එහෙත් ධර්මය තුලින් ලැබෙන ප්‍රඥාවෙන් තොරව නම් ඒ ජය සැබෑ ජයක් බවට පත්කරගන්නට අපහසුවනු ඇත.  

ලක්බිම වසර 30කට අධික කාලයක් පැවති මේ යුද්ධය නිමාකරන්නට අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් සහ ආරක්ෂක ලේඛම් ගෝඨාභය මැතිඳුන් විසින් ලබාදුන් නායකත්වය පහදන්නට වචන ප්‍රමාණවත් නොමැති බව මාගේ අදහසයි.  එයට හේතු බොහෝමයක් ඇත.  මේ යුද්ධ සමය පුරාවට විවිධ අයුරින් එහි නොයෙක් අවස්ථාවන් අත්දුටුවෙක් වශයෙන් මේ යුද්ධය සිදුවූ ආකාරයත් එය අවසන් වූ ආකාරයත් සැබැවින්ම සතුරු මිතුරු දෙපාර්ශවයටම යහපතක්ම ගෙන දුන්නකි.  ලෝක සම්මතයේ ලැබගන්නට අවශ්‍ය කරන ජය නොලැබුවත් තම තමන්ට වෙන වෙනම බිම් කඩක් නොලැබුවත් තම තමන් විසින් වෛරය ක්‍රෝධය පතුරමින් ප්‍රාණඝාතයන් කරගැනීම නවතා දමන්නට අවස්ථාවක් ලැබීමම වර්ණනා කල යුතු අගය කල යුතු සත් කාර්යයකි.  එය හුදු ලෝක සම්මත යුධ ජයග්‍රහණයකට වඩා අවබෝධයෙන් යුතුව තෝරාගත යුතු වටිනාම කරුණකි.  එපමණක් නොවේ දෙපාර්ශවයේම අනන්ත අප්‍රමාණ ජීවිත ප්‍රමාණයක් අහිමි කරන්නාවූ යුද්ධයට සම්බන්ධ සෙබළුන් විසින් සිදුකලේ වීරකමක් ලෙසින් සැලකුවද ප්‍රාණඝාතය යනු ධර්මයට අනුව කෙසේවත් වීරකමක් නොවන බව දහම් අභාෂය ලබන්නාවූ මෙම රැකියාවේ නිතර බොහෝමයක් සෙබළපිරිස් පවා දන්නා කරුණකි.  

අන්න ඒ නිසාම ලෝකයේ මෙවන්වූ යුද්ධයන්ට සම්බන්ධ වෙනත් බොහෝ හමුදා පිරිස් වලට නොමැති වාසනාවක් ලක්බිම වෙසෙන මෙම සෙබළුන්ට ලැබී තිබේ.  එය ඔවුන්ගෙන්ද බොහෝමයක් පිරිස් අවබෝධයෙන්ම හඳුනාගෙන සිටීම දැකගන්නට හැකිවීම සැබැවින්ම ප්‍රසාදයට පත්විය යුතු කරුණකි.  අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් යුතු ත්‍රිවිධ රත්නය උදෙසා මහා ශාසන පූජාවක් කරන්නට එයට මුල පටන්ගෙනම සම්බන්ධ වෙන්නට ලැබෙන අවස්ථාව මෙතැකැයි කියා නිම කල නොහැකි අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ලැබ දෙන්නකි.   එවන් වූ උතුම් අදහස් රැගෙන සතුරු මිතුරු දෙපාර්ශවයේම යුද්ධයට සම්බන්ධවී මිය ගිය පිරිස් සිහිපත් කොට ඔවුනට සියලු දුකෙන් මිදෙන මෝක්ෂය පතා ඉදිකරන්නට නියමවූ “සඳහිරු සෑ රඳුන්“ මෙකල ජීවත්වන පින් කුසල් කැමැති බොහෝ සත්ව පිරිසකට උදාවූ වචනයෙන් විස්තර කොට නිමකල නොහැකි අවස්ථාවකි. 

මෙම අතිදුර්ලභ පින්කමේ ගර්භ නිදානෝත්සවයට සම්බන්ධ වූ අපටද විවිධාකාරයේ පින්කම් රැසකට සම්බන්ධවන්නට අපූරු අවස්ථාවන් උදාවිය.  පිටු 16293කින් යුතු රන් ආලේපිත ත්‍රිපිඨක ග්‍රන්ථ 16ක් ගර්භයේ තැන්පත් කරන්නට යෙදුන අතර එයට අතහිත දීගන්නට අපට අවස්ථාව උදාවිය.  කිලෝ 40කින් පමණ යුතු එක් පුස්තකයක් ඔසවාගෙන සිටින හිමිනමක් මේ ඡායාරූපයෙන්ද ඔබට දැකගත හැකිය.  පිරුවාණා පොත් වහන්සේද මේ ආකාරයෙන් නිම කර තැන්පත් කරන්නට යෙදුන අතර පුරා සති 2ක පමණ කාලයක් අනුරාධපුරයේ නවාතැන්ගෙන මෙම සියලු පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වන්නට අපට අවස්ථාව ලැබුණි.  

මේ අපූරු පින්කමට සම්බන්ධ වන්නට ආශ්චර්යමත් සිදුවීම් දාමයක්ම මේ පින්කම පූරාවට අත්දැකගැනීමට අපට පෞද්ගලිකවම අවස්ථාව සැලසුනේ මෙවන් වූ පින්කටයුතු වල ශාසන පූජාවල ආනිශංසයන් වැදගත්කම් දැන දැක අවබෝධයෙන් යුතුවම චිත්ත ප්‍රසාදයට පත්වූ නිසාම විය යුතුය. 

පුරා සති 2කට අධික කාලයක් මේ ආශිර්වාදයන් ලැබගන්නට ආශ්චර්යාත්මක අපුරු අත්දැකීම් ලැබගැනීමට අපට හැකිවූයේ කර්නල් මොහාන් කුමාර්, ලෙෆ්ටිනන් කර්නල් ඩිලන්ත, කර්නල් මිහිඳු පෙරේරා, කර්නල් බණ්ඩාර, මේජර් රත්නායක, මේජර් සුරේෂ්, ලෙෆ්ටිනන් නලීන්, ලෙෆ්ටිනන් නලින්ද, ලෙෆ්ටිනන් නෙවිල්, ලෙෆ්ටිනන් වසන්ත, කැප්ටන් මිල්ටන්, ලෙෆ්ටිනන් දේශප්‍රිය, සෙබළ රන්දෙලිගේ ආදී අපුරු මිනිසුන්ගේ ඇසුරත් සමඟින්මය.  ඒ වගේම පූජනීය වන්දනීය එප්පාවල සාගර සුමන හිමියන් අමතක කල නොහැකිය.  උන්වහන්සේ නිසාම ලැබූ අවස්ථාවන් මෙතෙකැයි කියන්නට නොහැකිය.  නිවන් මඟ කල එළි කරගන්නට අපූරු අවස්ථාවන් රැසක් හමුවූ නන් දෙසින් පැමිණි අපූරු කළ්‍යාණ මිත්‍රායණන්වහන්සේලා හමුවූ ආශිර්වාදයන්ගෙන් පිරුණු කාලයක් විය.  

ගයාන් මහතා සහ නිලුකා ගුණරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම විසිනුත්, රණතිලක මහතා සහ නිලුෂා කුමාරි මහත්මිය ඇතුලු පවුලේ සැම විසිනුත්, සුරංග මහතා සහ සමන්ති රූපසිංහ මහත්මිය ඇතුලු පවුලේ සැම විසිනුත්, යුදීෂ් දමිත සහ කුෂාන් මහතා ඇතුලු පවුලේ සැම විසිනුත්,  රොහාන් මහතා සහ වාගීෂා රන්සිමාලි මහත්මිය ඇතුලු පවුලේ සැම විසිනුත්, සුදන්ත සූරියබණ්ඩාර සහ ඉරේෂා සූරිය බණ්ඩාර මහත්මිය ඇතුලු පවුලේ සැම විසිනුත් දායකත්වය සපයමින් අපට පුරා සති 2ක කාලයක් නිවන් මාර්ගය පිණිසම කටයුතු සම්පාදනය කරගන්නට ලබාදුන් අවස්ථාව වෙනුවෙන් ඔවුනටද නිවන් මාර්ගය පූර්ණය කිසිදු බාධකයකින් තොරව පූර්ණය කරගැනීම පිණිසම හේතු උපකාර වේවායි මෙත් සිතින් නිති පතන්නෙමු!!!

 

 

ඔබේ දායකත්වය පහත පරිදි ලබාදිය හැක...

මෙම සත්කටයුත්ත තරමක් අඩාල වුවත් තවමත් කෙරීගෙන යන අතර දැන්වත් මෙහි සැබෑ වටිනාකම හඳුනාගෙන එයට මුල්තැන දී කටයුතු කරන්නට ලක්වාසීන්ට බුද්ධිය පහල වේවා යන මෙත් සිත් ඇතිව මේ දුර්ලභ අවස්ථාව මඟ නොහැර ගන්නට තම තම නැණ පමණින් යහපතින් යුතුව කටයුතු කරන්නට මෙසේ උපකාරයක් වෙමි.
  • ගඩොලක් මිලදී ගෙන - (ගඩොල් 02ක ටිකට් පතක මිළ රුපියල්) - 100.00
  • කි.ග්‍රෑ. 50ක් බර සිමෙන්ති කොට්ට 1ක් (මිළ රුපියල්) - 700.00
  • සලපතල මළුව හා වැලි මළුව යාකර බැම්ම මත ඇදෙන ජාතක කථා ඇතුලත් කළු ගල් කැටයම් ගලක (මිළ රුපියල්) - 400,000.00  (වර්ග අඩියක මිල රුපියල් 20,000.00)
  • සලපතල මළුවේ මතුපිට අල්ලන ගලක වර්ග අඩියක (මිළ රුපියල්) - 700.00
“සඳහිරු සෑය“ ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය වෙනුවෙන් මුදලක් වැය නොවුනත් අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට අති විශාල මුදලක් අවශ්‍ය වේ.  සිය කැමැත්තෙන් මේ සත්කාරය වෙනුවෙන් දායකත්වය ලබාදීමට “සඳහිරු සෑය“ අරමුදල නමින් පහත සඳහන් බැංකු ශාඛාවන් වල ගිණුම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ඔබගේ නොමසුරු දායකත්වය ලබාදීමට හැකියාව ඇත. 
මහජන බැංකුව මූලස්ථාන ශාඛාව
ගිණුම් අංක: 204 – 1 001 – 8 – 0004467 සහ 204 – 1 – 001 – 7 – 0004830

මෙම යොමුවෙන් තවත් විස්තර දැනගන්න

http://www.army.lk/detailed.php?NewsId=6392

http://sinhala.news.lk/fetures/item/8038-2014-12-02-06-43-23