පුංචි ප්‍රවේශයක්

  04 මැයි 2015

පුංචි ප්‍රවේශයක් Copyright Claims

Article summary

අපි අපේ සම්මා සම්බුදු පියාණන්වහන්සේට මල් පූජා කරනවා, හදුන්කූරු පූජා කරනවා, පහන් පූජා කරනවා. සමහරු දිනපතාම මේ කටයුතු කරනවා... සමහරු පන්සල් ගියාම විතරක් කරනවා... කොහොම කොහොම හරි පිලිවෙතක් විදියට බොහෝ බෞද්ධ පිරිස් මේ කටයුතු වල නිරත වෙනවා. වාද විවාද හමුවේ අසරණ වෙන්නේ මේවායේ අර්ථය නොදන්නා නිසාමයි...

මේ කටයුතු වල සැබෑ හරය අර්ථය දන්නේ නැති නිසා තමයි බොහෝ දෙනෙක් මේ පූජා කටයුතු ගැන වාද විවාද සිදුකරන්නේ.   සමහර වෙලාවට යමෙක් අසනවා බුදු පිලිමයකට මල් පූජා කරලා සුවදවත් කරලා ආලෝකමත් කරලා නිවන් යන්න පුළුවන්ද කියලා... ඉතින් සැබෑ අර්ථයන් නොදැන ඉන්න තාක් මෙවැනි වාද විවාද හමුවේ අසරණ වෙන්න තියෙන ඉඩත් වැඩියි!

බුද්ධිමත් පුද්ගලයෙක් වශයෙන් සැමවිටම තමන් කරන, කියන, සිතන දේ පිලිබදව අව‍ධානයෙන් ඉන්නවා වගේම ඒවා යහපත් හේතු මූලික කරලා සිදුකරගත යුතු වෙනවා.  ඉතින් බුදු දහමේ පෙන්වා දෙන මේ මල්, සුවද කූරු, පහන් පූජාවන් වලත් බො‍හෝම පැහැදිලි වටිනා අර්ථයක් ගැබ්වෙලා තියෙනවා.  ඒ අර්ථය හොදින් අවබෝධ කරගෙන ඒ ඒ පූජා කටයුතු වල නිරත වීම ඔබේ නිවන ඉක්මනින්ම පූර්ණය කරගැනීමට සීල, සමාධි, ප්‍රඥා යන ශාසන වැඩීමට හේතුවෙනවා. 

ඉතින් මෙම කොටස වෙන් වන්නේ එකින් ‍එක අප නිතරම නිරත වන පූජා කටයුතු සම්බන්ධයෙන් විග්‍රහ කරගන්නටයි.  සියලු දේට හේතුවක් තියෙනවා... ඒ හේතු අවබෝධ කරගෙන ඉතාමත් බුද්ධිමත් ලෙස තම තමන්ගේ මාර්ගය වඩාගැනීමට ඔබ තීරණය ගත යුතුයි.  ඇත්තටම මේ යථාර්ථය අත්වීදීමට යන මග බොහෝම විශ්මයජනකයි... ඒකට හේතුව තමයි මේ මග හමුවන සියලුම දේට බොහෝම පැහැදිලි ඒ යථාර්ථය ඉක්මනින් අව‍බෝධ කරගැනීමට හේතුවන අර්ථයන් සැමවිටම අත්විදින්නට හැකිවීමයි. 

මල් පූජාවෙන් සීල ශාසනයත්... හදුන්කූරු පූජාවෙන් සමාධි ශාසනයත්... පහන් පූජාවෙන් ප්‍රඥා ශාසනයත් බොහෝම අපූරුවට වැඩෙන්නට මේ ලිපි පෙල ඔබට උපකාර වේවි.  ඉතින් උපමා උපමේය සහිතව මේ අපූරු අර්ථයන් මතුකර දුන්නේ පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් කියලාත් මතක් කරන්නටම ඕන.  මූලිකව උන්වහන්සේ විසින් පෙන්වා දුන්නාවූ ඒ අර්ථයන් තව තවත් විදසුන් නුවණින් විමසන විට මට අත්දැකගන්නට හැකිවූ නිවන් මඟට රුකුලක්ම වූ අරුත්ද සහිතව මෙහි විග්‍රහයන් ගොනු වෙනවා.  ඉතින් මේ හැම දෙයකින්ම ප්‍රඥාව මතු කරගෙන අර්ථවත්ව මාර්ගය වඩා තම තමන්ගේ පූර්ණ නිදහස හෙවත් සැබෑම සතුට ලබන්නට අදිටන් කරගන්න!

එපමණක් නොවේ බොහෝ දෙනෙක් වැඩක් නෑ කලාට ඵලක් නෑ ඕවා කලාට නිවනක් ලැබෙන්නට කිසිම උපකාරයක් නෑ කියලා කියන බොහෝ පින්කම් රැසක් ගැනත් විස්තර මේ කොටසේ පෙන්වා දෙනවා.  ඒවා ප්‍රාථමික මට්ටමෙන් පිනක් ලෙසින් පමණක් සිද්ධ වුවහොත් ලැබෙන ප්‍රතිඵලත් එතැනින් එහාට ප්‍රඥාවම වර්ධනය වන නිවීම පිණිසම හේතු උපකාර වෙන කුසලයක් ලෙසින් වර්ධනය කරගන්නා ආකාරයත් පෙන්වා දෙන්නට මට හැකි උපරිමයෙන් කටයුතු කරන්නම්.  සියලු දේ බුද්ධිමත්ව ඇසුරු කොට යහපත පිණිසම යොදාගන්න! තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!