සමාධියට රුකුලක් වන හඳුන්කූරු පූජාව

සමාධියට රුකුලක් වන හඳුන්කූරු පූජාව

හඳුන්කූරක් ගෙන සුවඳවත් කරන අදහසින් පමණක් බුදුන් පුදන්නට කටයුතු කරනවාට වඩා ඒ තුලින් ගැඹුරු විදර්ශනාවක් කරන්නට හැකි නම් ඒ හේතුවට ලැබෙන්නේ මහත් ඵල මහානිශංසයක්මයි.  තමන් තුල උපන් කුසලය පිළිබඳව විදසුන් නුවණින් දකිමින් හඳුන්කූරක අවස්ථාවන් ඔස්සේ ගලපමින් කටයුතු කරන විට නැගෙන්නේ නිවනටම යොමුවූ නිසි සමාධියක්. 

හඳුන්කූරක් ඇඳ නෑ... සෘජුයි...

ඒ වගේ තමන් තුලත් ඇඳ නැති සෘජු වැඩපිලිවෙලක් හටගෙන තියෙනවාදැයි නුවණින් විමසා බලන්න.  ධර්ම මාර්ගයේ ගමන්කරන්නා තුල හටගන්නේ අවංක වූ සෘජු වැඩපිලිවෙලක්.  අවංක වූ සෘජු වැඩපිලිවෙලක් තුල තියෙන්නේ සිත, කය, වචනය කියන තුන් දොර සංවරත්වයමයි.  රාගය නිසාවෙන් ද්වේශය නිසාවෙන් මෝහය නිසාවෙන් යම්තාක් වංක වූ වැඩපිලිවෙලක යෙදී සිටියේ නම් සත්ධර්මය නිසාවෙන් තෙරුවණ ගුණයන්ට නැමුනු නිසාවෙන් අවංක භාවයට සෘජු භාවයට පත්වෙන්නට හැකිවෙනවා.  අන්න ඒ දේ හඳුන්කූරක් උපමා කරමින් ඒ ගුණයට තමන් පත්වී දැයි බලන්නට ඔබට හැකියි. 

ඇඳ නෑ වගේමයි හඳුන්කූරක් හරිම සුවඳවත්. 

තමන්තුලත් මේ කියන සංවරත්වය නිසාම සිල් සුවඳ විහිදෙනවා.  හරියට හඳුන්කූරක් දසත සුවඳවත් කරන්නා සේ සංවරත්වයෙන් යුතු සිතක්, කයක්, වචනයක් කියන්නේ තවත් බොහෝ දෙනෙකුට යහපතක්ම ගෙන දෙන ගුණ සුවඳින් යුක්තයි.  හඳුන්කූරේ සුවඳට උපමා කොට තමන් තුල කොතරම් ගුණ සුවඳක් විහිදේ දැයි නුවණින් විමසා බලන්න.

හඳුන්කූරක මුදුනත බබළනවා...

ධර්මාවබෝධයෙන් යුතුව කටයුතු කරන පුද්ගලයාගේ නුවණත් ධර්මය නිසාවෙන්ම බබළනවා... ධර්මයම ඇසුරු කරන සිතක් කයක් වචනයක් හොබවනවා.  මේ බැබළීම තමන්තුල වේදැයි නුවණින් විමසා බලන්නට හඳුන්කූර උපකාර කරගන්න ඔබට හැකියි. 

ධර්මය තුලින් බබළන විට ක්‍ර‍ම ක්‍ර‍මයෙන් දුර්ගුණයන්...

අළු වෙලා යනවා...

ධර්මය තුලින් බබළන විට ක්‍ර‍ම ක්‍ර‍මයෙන් දුර්ගුණයන් අළුවෙනවා... සිත කිලිටි වන ස්වභාවය නැති වෙලා යනවා... හරියට හඳුන්කූරක් අළු වෙලා යනවා වගේ අප තුල තියෙන්නාවූ යම්තාක් කිලිටි වන කෙලෙස් ඇතිවන ස්වභාවයක් වේ නම් ඒ සියල්ල අළු වෙලා යනවා.  රාග වැඩපිලිවෙල ද්වේශ වැඩපිලිවෙල මෝහ වැඩපිලිවෙල ක්‍ර‍ම ක්‍ර‍මයෙන් අළු වෙලා යන්නේදැයි හඳුන්කූරේ අළු වලට උපමා කොට දැකගන්නට බුද්ධිමත් ඔබට හැකියාවක් තියෙනවා.

කෙටි වෙනවා...

හඳුන්කූර මෙසේ ක්‍ර‍ම ක්‍ර‍මයෙන් කෙටි වෙලා යනවා.  ඉතින් ධර්මයක් ඇසුරේ මෙසේ ගුණ වැඩෙන ඔබගේත් සසර ක්‍ර‍ම ක්‍ර‍මයෙන් කෙටිවී යන්නේ ඒ ආකාරයටමයි.  තමන් තුල ඇති ගුණ විදසුන් නුවණින් දකිමින් මෙසේ කෙටිවන සසර පිළිබඳව අදහස් නැගෙන විට සිතට නැගෙන්නේ ප්‍රීතියක්මයි. 

ඒ ප්‍රීතිය නිසාවෙන් සුවයට පත්ව ධ්‍යානාදිය ලබා විමුක්තිය පිණිස ඥාන දර්ශනයන් පහළ වෙනවා.  ලැබෙන්නේ නිවීමමයි.  හරියටම හඳුන්කූර දැල්වී අවසාන වූවා සේමයි.   හඳුන්කූරක් දැල්වී අවසන්වූවා සේම තමන්ගේ දුක් අසහනයෙන් පිරුණු මේ සසර පැවැත්මද අවසානයකට පත්වන්නට තරම් ප්‍ර‍බල විදර්ශනාවක් අර්ථය දැන ධර්මය දැන සිදුකරන හඳුන්කූරු පූජාවක් තුලින් සිදුකරගන්නට හැකියි. 

හඳුන්කූරක් පුදන්නට පෙර අතට ගෙන මෙසේ විදසුන් භාවනාවකට සිත යොමුකරන්න.  තම තමන්ගේම කුසල් අකුසල් පිළිබඳව සිත කය වචනය තුල ඇති සංවර අසංවර බව කෙරෙහි විදසුන් නුවණ මෙහෙයවන්න.  ඔබට වරදින්නේ නෑ... අර්ථවත්ව ධර්මාවබෝධයෙන් යුතුව සිත් තුල සැබෑ ප්‍ර‍ඥාවෙන් යුතු සමාධිය මෙසේ මතු කරගන්නට තම තමන්ටම පොරොන්දු වෙමින් හඳුන්කූරු පූජාවන් කරන්නේ නම් ඔබගේ මෙලොව පරලොව දිවිය සරු වී නිවී සැනසීමටම පත්වීමටද එය උපකාරයක් කුසලයක් වනු නොඅනුමානයි!