නාස්ති කරන්නේ ඇයි? කියලා සමහරු අහනවා!

නාස්ති කරන්නේ ඇයි? කියලා සමහරු අහනවා!

මට වැටහෙන විදියට නම් මේ විදියට සිද්ධ වෙන්නේ මේ කොටසේ අරුත නිසි ලෙසින් වැටහීමක් නැති නිසාමයි.  ඒ වගේම තමයි බොහෝ දෙනෙක් හිතනවා පිළිමයකට හෝ චෛත්‍යයක් ඉදිරියෙන් කෑම බීම තියලා මහා පරිමාණයෙන් නාස්ති කරන්නේ නැතිව ඒ කෑම බීම සතෙකුට හරි කන්න දුන්න නම් ඊට වැඩිය හොඳයි කියලා.  ඒ කියන්නේ සරලව කෙනෙක් මේ දේවල් නාස්තියක් විදියට දකිනවා.

ඉතින් මේ දේ හොඳින් හිතන්නකෝ.  අපි නාස්ති කරන්නේ ඔය දේවල් විතරද?  දවසක් සතුටෙන් ගත කරන්න කාලා බීලා විනෝද වෙන්න අරක්කු සිගරට් බොන්න දහස් ගණනින් වියදම් කරලා කෑම වේලක් කන්න වියදම් කරන්නේ නැත්ද? මහන්සි වෙන්නේ නැත්ද? කාලය වැය කරන්නේ නැත්ද?

විවාහ මංගල උත්සව වලට වගේ උත්සවාදියට ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා එක මොහොතකට.. එක දිනකට සැරසෙන්න... සරසන්න... වියදම් කරන්නේ නැත්ද? මහන්සි වෙන්නේ නැත්ද? කාලය වැය කරන්නේ නැත්ද?

ගෙදර ආරක්ෂාවට කියලා මායිම වෙන් කරගන්න කියලා අහස උසට ලක්ෂ ගාණක් වැය කරලා තාප්පයක් බැදගන්න... කන කන දේ අසූචි ලෙසින් පිටකරලා අරින දිනයක විනාඩි කිහිපයක් විතර ගත කරන වැසිකිලිය තනා ගන්න ලක්ෂ ගණනින් වියදම් කරන්නේ නැත්ද? මහන්සි වෙන්නේ නැත්ද? කාලය වැය කරන්නේ නැත්ද?

ඡන්ද කාලෙට ගම නගරය සරසන්න දවස් කීපයක් තිබිලා විසි කරලා දාන කඩදාසි කෑලි වලට ඉටි කොල වලට ලක්ෂ ගණනින් වියදම් කරන්නේ නැත්ද? මහන්සි වෙන්නේ නැත්ද? කාලය වැය කරන්නේ නැත්ද?

තම තමන්ගේ ආයතනයේ ප්‍රචාරක කටයුතු වලට මුද්‍රණය කරන... කියවන්නේවත් නැතිව තැන තැන විසි කරලා දාන පත්‍රිකා වලට ලක්ෂ ගණනින් වියදම් කරන්නේ නැත්ද? මහන්සි වෙන්නේ නැත්ද? කාලය වැය කරන්නේ නැත්ද?

මම දන්න තරමින් තරු පහේ හෝටල් වල කෑම බීම ඕන තරම් අපතේ යනවා.  මගේ අත්දැකීමෙන්ම කියන්න පුළුවන් සමහර ආයතන වල කෑම බීම මහා පරිමාණයෙන් විසි කරනවා...ඒවායේ රාජකාරි කරන පිරිසටවත් කන්න බොන්න දෙන්නේ නෑ.  ඉතින් ඒවායේ නාස්තියක් වෙන්නේ නැත්ද?

මේවා කරන්න එපා කියනවා නෙවේ.  මේ දේවල් කරන අයව විවේඡනය කරනවාත් නෙවේ. 

මේ කියන්නේ බුද්ධිමත්ව හිතන්නට යමක්.  ඉතින් තම තමන්ට මුදල් හදල් තියෙන තරමින් තම තමන් වියදම් කරනවා.  ඒ වියදම් කරනවා වගේම තමයි පිරිසක් තීරණය කරනවා මේ වගේ පින් කටයුතු වලට වියදම් කරන්න.  ඉතින් ඉහත කියපු දේවල් වලට නාස්ති කරන්නේ ඇයි කියන ප්‍රශ්ණය අහන්නේ නැතිනම් මම හිතන්නේ අප කිසිවෙකුට අදාල නෑ මේ වගේ පින්කටයුතු කරන කෙනෙකුගෙන් අහන්න නාස්ති කරන්නේ ඇයි කියලා.  ඒක තම තමන්ගේ පෞද්ගලික තීරණයක්. 

ඉතින් යම් පිරිසක් තම තමන්ගේ ධනය, ශ්‍රමය මේ වගේ පින් කටයුතු වලට යොදවන්නේ ඇයි කියලා දැනගන්නට ඕන නම් මේ “කරුණාවේ පියාපත”ට අදාල සියලුම කොටස් හොඳින්ම කියවන්න.  අහන්න... එවිට ඒ කරන දෙය නාස්තියක්ද නැත්ද එහි වටිනාකමක් තියෙනවාද නැත්ද යන්න තම තමන්ගේ නැණ පමණට වැටහේවි!