මේ ආකාරයේ අදහස් දරන්නේ ඇයි?

මේ ආකාරයේ අදහස් දරන්නේ ඇයි?

මේ විදියට අදහස් ඇතිවන්නට ප්‍රධාන හේතුවක් තමයි බැලූ බැල්මට මේ දේවල් වලින් වාසියක් නොලැබීම.  බුද්ධ පූජාවක් තිබ්බොත් විසි කරන්න දුක හිතෙන්නේ... නාස්තියක් කියලා දකින්නේ... අග්‍ර කොටසක් විසි කරන්නට අහක දමන්නට අතහරින්නට ඇති ලෝභකම ක්‍රියාත්මක වන නිසයි. 

ඒ වගේම තමයි චෛත්‍යයක් හැදුවාය කියලා එයට වැන්දාය කියලා බැලූ බැල්මට ලැබෙන වාසියක් නෑනේ.  ඒ නිසා තමයි එයිට වඩා ගෙයක් හදන එක හොඳයි කියලා හිතෙන්නේ.  අඩු ගානේ කාට හරි ඉන්න වහලක් හෝ ලැබෙනවානේ කියලා තමයි හිතෙන්නේ. 

මෙම පින් කටයුතු වල හෝ වේවා කරුණා ශාසනය සම්බන්ධයෙන් හෝ වේවා ගැඹුරු අර්ථයක් තේරුමක් හරි හැටි නොදන්නාකම මට නම් පේන ආකාරයට මේ ගැටලුවට ප්‍රධානම හේතුවයි.  තේරුමක් දන්නේ නැතිවුණාම එහි වටිනාකමක් තියෙනවාද නැත්ද යන්න පිළිබඳව හරි හැටි අදහසක් ගන්න නොහැකි වීම සාධාරණයි. 

හැමතිස්සේම ඇසට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ කියන පංච කාම ආශ්වාදය තුලින් වින්දනයක් ලබාගන්න පුරුදු වෙලා තියෙන මනසට මේ වින්දනය හරි හැටි ලබන්නට නොහැකි දේවල් ගැන ඇතිවෙන්නේ අප්‍රාසාදයක්.  එහෙමත් නැතිනම් කෙනෙක් මේ දේවල් තුලින්ම වින්දනයක් ලබන නිසාම ඒ දේවල් කරනවා වෙන්නත් පුළුවන්.  ඉතින් මේ කටයුතු කලා කියලත් හරි හැටි තේරුමක් නොදන්නවා නම් සමහර අවස්ථා වලදී පින්කටයුතු කරලත් අර නොකර විවේඡනය කරන පුද්ගලයන් හා සමානව පව්ද රැස්කරගෙන දෘෂ්ඨි වලටද පත්වෙනවා. 

අර්ථ නොදැනීම, ධර්මය නිසි සේ නොදැනීම, මේ සියලු දෑට හේතුවන ප්‍රධානම කාරණයයි.  එවිට තීන්දු තීරණ ගන්නේ රාගයෙන් හෝ ද්වේශයෙන් හෝ මෝහයෙන්මයි.  එවිට මේ කරුණා ශාසනය වුණත් සකස් කරගන්නේ මෝහයෙන් මුලාවෙන් යුතුවමයි.  වරදවාගත්තාවූ අදහසක් ඇතිවමයි.  අන්ධවූ භක්තියකින්මයි.

මෙතැන සිද්ධ වෙන අඩුපාඩුව තමයි අප යමක් හරි හැටි නොදන්නවා නම්... ප්‍රඥාවන්තකම බුද්ධිමත්කම තමයි අප නොදන්නා දේවල් විවේඡනය නොකර සිටීම.  එහෙත් එහෙම සිද්ධ වෙන්නේ කලාතුරකින්නේ.  ඇයි හැමෝම වගේ හිතාගෙන ඉන්නේ තමන් කියන දේ තමන් හොද හැටි දන්නවාමයි කියලයි. 

ඉතින් ඒ නිසා තමයි දන්න දේ වැඩි වැඩියෙන් ඔප මට්ටම් කරගන්නත් නොදන්නා දේ දැනගන්නත් හැකි වන සේ “නිර්වාණ ධර්ම” තුලින් හැකි උපරිමයෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නේ. මේ සෑම දෙයක්ම විවෘත මනසකින් විමසා බලා ප්‍රඥාවන්තව කටයුතු කරගන්නට උත්සාහ කරන්න!