සිතින් පින් කිරීමේ ගැඹුර

සැප්තැම්බර් 2022 කතු වැකිය

සිතින් පින් කිරීමේ ගැඹුර

සටහනේ අන්තර්ගතය

පසුගිය කතු වැකිය තුලින් අප විසින් අන් අය දෙන දානයක් දැක බලා පැහැදීම නිවන් මඟට උපකාර වූ ආකාරය ගැන විග්‍රහ කර ගත්තා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලයේ සිද්ධියක් ද අප ඒ වෙනුවෙන් උදාහරණයකට යොදා ගත්තා මතකයි නේ නේද? ඉතින්, මෙවර කතු වැකිය තුලින් එම අන් අය දෙන දානය හෝ අන් අය සිදු කරන පින්කමක් තමන් විසින් සිදු කර ගත්තා සේ සිත පහදවා ගැනීමේ ක්‍රමවේදය ගැන තව දුරටත් විග්‍රහ කර ගන්නට උත්සාහ කරමු!

මේ වන විට අන්තර්ජාලය... සමාජ මාධ්‍ය ආදිය ඔස්සේ බොහෝ පිරිසක් තම තමන් සිදු කරන විවිධාකාරයේ පින් කටයුතු වල ඡායාරූප... වීඩියෝ දර්ශන බෙදා ගන්නවා.  “නිර්වාණ ධර්ම සදහම් සත්කාරය” තුලින් ද එසේ සිදු කරන පින් කටයුතු වල ඡායාරූප හෝ වීඩියෝ ගත කර ගත් අවස්ථා බෙදා ගන්නවා.  ඉතින් මේ වගේ අවස්ථා වල දී සමහර පිරිස සතුටු වෙනවා වගේ ම කම්පා වෙන අවස්ථා ද තිබෙනවා.  ඒ ඇයි?  පින් කටයුතු කරන්නට ඉතාමත් කැමතියි... නමුත් මුදල් යොදවන්න බැරි වුනා... නැත්නම් අදාළ පින්කමට මුදලින් ආධාර කරන්නට නො හැකි වුනා... කියලා කම්පා වෙනවා.  දැන් ඉතින් මේ වගේ කම්පා වීම් අත හරින්න ඕන. තමන්ට යම් ඡායාරූපයක් හෝ වේවා පින් කටයුත්තක වීඩියෝ දර්ශනයක් වේවා ලැබුණ විට එය භාවනාවක් බවට පත් කර ගන්නට ඕන.

උදාහරණයකට මෙහෙම හිතන්න... ඔබට වසර ගණනාවකට පෙර පවුලේ පිරිස විසින් පැවැත්වූ උත්සවයක ඡායාරූප ලැබෙනවා.  ඒවා බලන විට ඉතාමත් උනන්දුවෙන් එකින් එක බලමින් ඔබ සතුටු වෙන ආකාරය... ඔබගේ සිත වැඩ කරන ආකාරය සිහිපත් කර ගන්න.  ඒ වගේම තවත් උදාහරණයක් ගන්න... ඔබ කැමති ම නළුවෙක් හෝ නිළියක් හෝ ප්‍රසිද්ධ චරිතයක් සහභාගි වන උත්සවයක් දකින්නට ලැබෙනවා.  ඡායාරූප හේ වීඩියෝව බලන විට ඔබගේ සිත වැඩ කරන ආකාරය සිහි පත් කර ගන්න.   ඉතින් මේ සෑම අවස්ථාවක ම සිත සම්බන්ධ වන ආකාරය අනුව තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ.

එහෙනම් දැන් ඉතින් පින් කටයුත්තක ඡායාරූප ලැබෙන විට... වීඩියෝ ලැබෙන විට... මොහොතක් ඒ ඒ ඡායාරූප සහ වීඩියෝවේ පෙන්වන සිද්ධියට සම්බන්ධ වන්නට සිත යොමු කරන්න.  ඔබ ඒ පින් කටයුත්ත සිදු කරනවා නම් සිදු කරන ආකාරය සිතට ගන්න.  උදාහරණයකට ඔබට චෛත්‍යයක හුණු පිරියම් කරන ඡායාරූපයක් ලැබෙනවා.  ඔබ විසින් ඒ කටයුත්ත සිදු කරන ආකාරය සිහිපත් කර ගන්න.  ඔබ ඇයි ඒ දේවල් කරන්නේ? ඔබට සම්මා සම්බුද්ධ රත්නය, සද්ධර්ම රත්නය, ආර්ය මහා සංඝ රත්නය යන තෙරුවනින් ලැබුණ දේ අනුව ඔබගේ සිත තුල ශ්‍රද්ධාව... ගෞරවය... සකස් වේවි.  මොහොතක් වැය කොට ඒ තෙරුවන නිසා ඔබ ලැබූ දේ සිහිපත් කර ගන්න. 

අනාථ සසරක මොහොතකට හෝ හදවතට නිවනක්... සැනසීමක් ලැබුණේ මේ උතුම් තෙරුවන නිසා නොවේ දැයි සිහිපත් කර ගන්න.  සංසාර දුක අවසන් කර ගැනීමට මඟ පෙන්වන මේ තෙරුවන පහල වුනේ නැත්නම් සිදු වන ඇබැද්දිය සිහි කර ගන්න. 

තෙරුවනින් ඔබ තවමත් කිසිවක් ලබා නැති නම් ඔබට විමසන්නට ප්‍රශ්නයක් තිබෙනවා.  ඒ තමයි මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ඇතුළු ආර්ය සංඝ රත්නය කියන පිරිස මෙතරම් විශේෂ වන්නෙ ඇයි? මෙතරම් පුද පූජාවන් ට ලක් වෙන්නේ ඇයි? මෙතරම් ගෞරවාදරයට ලක් වෙන්නේ ඇයි? සාමාන්‍ය සිරුරක මිය ගිය පසු කුණු වෙලා විනාශ වෙලා යන ශරීර කොටස් පවා ධාතූන් වහන්සේලා ලෙසින් වෙනස් වෙලා විශේෂ වෙලා පවතින්නේ ඇයි? ජීවමාන ව නැතත් අදටත් අසීමාන්තිකව ආහාර පාන, වස්ත්‍ර, සේනාසන, ඖෂධ ආදියෙන් පිදුම් ලබන්නේ ඇයි? මේ පිරිස මෙතරම් උතුම් වන්නේ... විශේෂ වෙන්න ඇයි?  මට නො දැනුන අන් අයට දැනුන විශේෂත්වය මොකක්ද?  මට මඟ හැරුණු දේ මොකක්ද?  මොනවද මේ උතුමන් කියලා තියෙන්නේ?  ඇයි මට ඒ දේවල් තවමත් දැනෙන්නේ නැත්තේ?  මෙන්න මේ විදියට විමසන්නට මොහොතක් වෙන් කරන්න.

සමාජ මාධ්‍ය හෝ අන්තර්ජාලය ඔස්සේ ලැබෙන පින් කටයුත්තක ඡායාරූපයක්... වීඩියෝවක් දුටු විට ආ... තවත් පින්කමක්... කියලා උඩින් මත්තෙන් බලලා... ඔහේ අපතේ යන්නට නො දී ඒ පින්කම තමන් විසින් ම කර ගන්න.  මුදල් යෙදවීම හෝ ඒ පින්කමට ගොස් ක්‍රියාවෙන් සහභාගී වෙන්නට නො හැකි වීම වගේ භෞතික තත්වයන් බාධාවන් කර ගන්න එපා.  සරලව ඒ පින් කම තමන්ගේ කර ගන්න.  ඔබගේ සිතින් ඔබට රිසි සේ අසීමාන්තිකව සිදු කරන්න.  මේ විදියට ඡායාරූපයක් ගානේ... වීඩියෝවක් ගානේ නැණවත් ව කටයුතු කලොත් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය බල නැගෙන... වැඩෙන ආකාරයට භාවනාවක් කර ගන්නට හැකි වෙනවා.  එයම නිවන් මඟයි.  එම වැඩ පිළිවෙල ඔබට තව තවත් මේ සංසාර දුක අවසන් කර ගැනීමට මඟ පෙන්වන කල්‍යාණ මිත්‍රයාට නැමී සිටින්නට, කල්‍යාණ මිත්‍රයා ව ලුහු බඳින්නට උපකාර වෙනවා. 

හැකි සෑම අවස්ථාවක දී ම පින් කටයුතු සිදු කරන්න. අවස්ථාව ලැබෙන අයුරින් මුදලින් හෝ වේවා ක්‍රියාවෙන් ශ්‍රමයෙන් දායක වන්නට ද උත්සාහවන්ත වන්න.  මුදලින් කියූ විට දහස් ගණන්... ලක්ෂ ගණන් මුදල් ගැන සිහි කර ගන්න එපා.  ඔබට දෙන්නට හැක්කේ රුපියලක් වෙන්නට පුළුවන්... ඒ රුපියල අතහැරීමෙන් යුතුව ලබා දෙන්න.  නැවත ඒ මුදල ට සිදු වුනේ කුමක් දැයි සොයා බලන්නට වෙහෙස වන සිතක් වේ නම්... අපරාදේ කියලා හිතෙන සිතක් වේ නම් ඒ අල්ලා ගැනීමෙන් යුතු සිත් හඳුනා ගන්න.  පින් කැටයට වේවා, පින් කටයුත්තකට වේවා ඔබ යොදන මුදල අතහැරීම ප්‍රගුණ වෙන ආකාරයෙන් සිදු කර ගන්නට දක්ෂ වෙන්න.

මනෝමයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ පමණක් පින් කරලා ශ්‍රමයෙන් ධනයෙන් සම්බන්ධ වන්නට ඇති අවස්ථා වුවමනාවෙන් කම්මැලිකමින් මඟ හරින කපටි සිත් පහල වනවා නම් ඒවා ද හඳුනා ගන්න.  “අනේ මට මුදල් දාන්න බැරි වුනා... යන්න බැරි වුනා... ඔයාලා නම් පින් කරනවා මට තමයි අවස්ථාව නැත්තේ...” මේ වගේ අඳෝනා සහිත කම්පා වන සිතිවිලි හඳුනා ගන්න.  ඒ පින් කටයුතු වලට වැය වී ඇති මුදල... ආහාර ද්‍රව්‍ය හෝ යමකුගේ කැපවීම කෙරෙහි ලෝභයක්, ද්වේශයක් ඇති වන විට ඒ සිතිවිලි දැක ගන්න.  ඒවා කිසිවක් තුල “පින” හෙවත් “තමන්ටත් අනුන්ටත් යහපතක් වන ආකාරයේ ප්‍රීතියක්” සකස් වෙන්නේ නැති බව නුවණින් දකින්න.     

පේනවානේ ඉතින්, පින් කටයුත්තක ඡායාරූපයක්, වීඩියෝවක් හරහා කොච්චර වටිනා භාවනාවක් කර ගන්නට හැකි ද කියලා.  තමන්ව ම අවබෝධ කර ගන්නට අවස්ථාව තමයි මේ සෑම දෙයක් තුල ම තිබෙන්නෙ.  මේ භාවනා ඇතුලේ ගැබ් වෙන්නෙත් ඔබ වෙනම ම භාවනා යැයි නම් කර ගෙන වඩන්නට උත්සාහ කරන ආනාපාන සතිය, බුද්ධානුස්සතිය, සතර සතිපට්ඨානය ආදී විවිධ නම් වලින් සඳහන් කරන භාවනා වර්ග ම තමයි.  බුදු හිමියන් පෙන්වූ තද නින්දෙ නැති සෑම අවස්ථාවක ම සිදු විය යුතු භාවනාව අවබෝධ කර ගන්නට නැණවත් ඔබට මේ සියල්ල හේතු උපකාර වෙත්වා!

එහෙනම්, “තම තමන් විසින් ම සිදු කර ගත්තා යැයි චිත්ත ප්‍රීතියෙන් යුතුව පින් අනුමෝදන් වෙත්වා!” කියන කාරණයේ ගැඹුර දැක ගන්නට මේ කෙටි විග්‍රහය ඔබට හේතු උපකාර වෙත්වා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා