දානය දැක බලා පැහැදීම

අගෝස්තු 2022 කතු වැකිය

දානය දැක බලා පැහැදීම

සටහනේ අන්තර්ගතය

තුන් කල් වැඩ වසන බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය සිහි පත් කර ගෙන දන් දෙන විට එයට පැහැදෙන සහ අපැහැදෙන පිරිස අද වගේම බුද්ධ කාලයේ ද සිටි බව ත්‍රිපිටක සත්ධර්මය ඇසුරු කරන විට දක්නට තිබෙන කාරණයක්. කාලය කුමක් වුවත් සසර පැවැත්මේ සිටින සත්වයාගේ චිත්ත සන්තානය ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ එකම ආකාරය බැවින් එය එසේ සිදු වෙයි. ඉතින් මේ කතාව අන් අය දෙන දානයක් දැක බලා සතුටු ව යහපත් උදා කර ගත් උතුම් සිතක් දැරූ පුද්ගලයෙකු ගැනයි. පින්වත් ඔබට ද එවන් සිතක් ලැබෙත්වා යන අදහස් ඇතිව මෙසේ මෙවර කතු වැකිය තුලින් බෙදා ගන්නට සිත් විය.

මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ අසදෘශ මහා දානය හෙවත් බුද්ධ කාලයක දී එක් වරක් පමණක් පවත්වන්නට යෙදෙන මහා දානය සිද්ධ වූ අවස්ථාවේ දී යි.  ඉතින් මේ දානය සිදු කරන්නේ කොසොල් රජතුමා සහ මල්ලිකා දේවියයි.  බුදු රඳුන් වැඩ වසන කාලයේ දී 500ක් හෝ 1000ක් හෝ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දන් දීම සාමාන්‍ය දෙයක් නේ.  ඉතින් කොසොල් රජු මෙසේ නිතරම දානය දුන් කෙනෙක්.  නගර වැසියන්ට ද තමන්ගේ දානය දැක බලා සතුටු වෙන්නට පණිවිඩ යවමින් දන් දෙන කෙනෙක්.  නගර වැසියන් ද තමන් කරන දානය දැක බලා සතුටු වෙන්නට රජු ට පණිවිඩ අරිනවා.  ඉතින් රජුට හිතෙනවා නගර වැසියන්ට සිදු කරන්නට නො හැකි අග්‍ර ගණයේ අසම සම දානයක් දෙන්නට බැරි වුනොත් රජකමෙනුත් ඵලක් නෑ කියලා.  ඒ වගේ දානයක් කෙසේ දෙන්න ද කියලා හිතන්නට ගත්තා.  ඉතින් මල්ලිකා දේවිය මේ ගැන දැන ගෙන එසේ අසම සම දානයක් දෙන්නට හැකියි, තමන් විසින් සියලු දාන කටයුතු සංවිධානය කරමින් සිදු කරන්නම් යැයි පවසා කටයුතු සිදු කරන්නට යෙදුනා.

සල් ලෑලි වලින් පන්සියයක් භික්ෂූන්ට වැඩ සිටීම සඳහා රවුමට අසුන් පැනවූවා. පන්සියයක් කුඩ තබන්නැයි පැවසූවා. මේ කුඩ පන්සිය ඔසවා ගෙන සිටින්නේ ඇතුන් විසින්. මැණික් වලින් රත්තරන් වලින් නැව් අටක, දහයක් කරවා ඒවා මණ්ඩපය මැද තබනු ලැබුවා.  භික්ෂූන් වහන්සේලා දෙනම ක් අතර ක්‍ෂත්‍රිය කන්‍යාවක් වාඩි කරවා සුවඳ අඹරනවා.  එක් එක් ක්‍ෂත්‍රිය කන්‍යාවක් විජිනි පතක් ගෙන පවන් සලනවා. අනෙක් ක්‍ෂත්‍රිය කාන්තාවන් ඇඹරූ සුවඳ අර රන් මුතු මැණික් වලින් සකස් කල නැවට දමනවා.  ඔවුන් අතරින් එක් ක්ෂත්‍රිය කාන්තාවක් නිල් මානෙල් කළඹක් ගෙන රන් නෞකාවල දමනවා.  සුවඳ කුඩු සහ ඒ මල් කළඹ සුවඳ පතුරු වනවා.  මේ විදියට තමයි මේ දානය සංවිධානය වුනේ.  නගරවාසීන්ට ක්‍ෂත්‍රිය කාන්තාවන් නෑනේ.  රජුගේ මාළිගා වේ තියෙනවා වගේ කුඩ ද නෑ, ඇතුන් ද නෑ.  ඉතින් රජු දුන්නා වගේ දානයක් දෙන්නට සමතෙක් නගර වැසියන් අතර නෑනේ.  ඉතින් කොසොල් රජුටත් හරිම සතුටුයි. 

මෙම දානයේ දී එක දිනකට වැය කළ මුදල කෝටි දාහතරක් විය. බුදුරජාණන් වහන්සේට පැනවූ සේසත වාඩි වන පුටුව මේසය පා පීඨය යන මේ භාණ්ඩ හතර ඉතා අධික වටිනාකමක් විය. එ නිසාම අසදිස මහා දානය නමින්ම ප්‍රසිද්ධ විය. එබඳු දානයක් බුදුවරුන්ට එක්වරක් පමණක් පවත්වන අතර සියල්ලම ස්ත්‍රීන් විසින් ම සංවිධානය කරන දානයකි.  ඉතින් රජතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් පිළිගන්වා බුදු රඳුන් ට වැඳ “ස්වාමීනි! මේ දානයේ කැප භාණ්ඩ හෝ අකැප භාණ්ඩ හෝ සියල්ල ඔබ වහන්සේට පුජා කරමි යි” පැවසුවා.

කොසොල් රජතුමාට කාල හා ජුණ්හ යනුවෙන් ඇමතිවරු දෙදෙනෙක් සිටියා. ඒ දෙදෙනා අතරින් “කාල ඇමති” මෙහෙම හිතුවා.  “අහෝ රාජ කුලයේ පරිහානිය සිදු වේ. එක් දිනකට කෝටි දාහතරක් වැය වේ. මෙම භික්ෂූන් මේ දානය වළඳා ගොස් වැතිරී නිදා ගනී. අහෝ රාජ කුලය වැනසේ!” 
ඒ අතර “ජුණ්හ ඇමති” මෙසේ සිතුවා.  “අහෝ රජුගේ දානය මනා සේ දෙන ලදී! රජ නොවන මෙබඳු දානයක් දෙන්නට හැකි සමතෙක් මෙලොව නම් නැතිව ඇති.   එනිසා මම මේ දානයේ පින මනා සේ අනුමෝදන් වෙමි!”

බුදු පියාණන් වහන්සේ දන් වළඳා අවසානයේ පුණ්‍ය අනුමෝදනාව කරන්නට මත්තෙන් “මහ රජ මහා සැඩ පහරක් මෙන් මහා දානයක් දෙන ලදී. මහජනයාට සිත ප්‍රසාදයට පත්වීමට හේතු වූවාදැයි නැත්දැයි බුදු නුවණින් විමසා බැලූ විට ඇමතිවරු දෙදෙනා ගේ සිත් ස්වභාවයන් දුටු සේක.  ඉතින් රජුන්ගේ දානයට සුදුසු අනුමෝදනයක් කරන්නේ නම් කාල ඇමතිගේ හිස සත් කඩකට පැලෙන බවත්, ජුණ්හ ඇමති සෝවාන් ඵලයට පත් වෙන බවත් දැක, “කාල ඇමති” කෙරෙහි අනුකම්පාවෙන් මෙතරම් මහත් දානයක් පිරිනැමුව රජුට සතර පද ගාථාවක් පමණක් පවසා අසුනින් නැගිට විහාරයට වැඩම කල සේක. 

දැන් රජතුමා හිතනවා අකැප දෙයක් දුන්න නිසා අප්‍රසාදයට පත් වෙලා ද දන්නේ නෑ මේ විදියට බුදු හිමියන් අනුමෝදනාවක්වත් හරියට කරන්නේ නැතිව වැඩම කලේ කියලා.  ඉතින් ඔන්න ගිහින් බුදු හිමියන් ගෙන් අහනවා.  බුදු හිමියන් පවසනවා “මම ඔබට සුදුසු වු අනුමෝදනයක් කරන ලදී! ඔබ විසින් සුදුසු ම දානයක් දෙන ලදී මෙබඳු අස දිස දානයක් බුදු කෙනෙක්ට ලැබෙන්නේ එක් වරක් පමණි. නැවත මෙබඳු දානයක් පිරිනැමීම අපහසුයි” කියලා දානය වර්ණනා කරනවා.  රජු අහනවා “එහෙනම් කෙටියෙන් අනුමෝදනාව කලේ ඇයි ස්වාමීනි දානයට සුදුසු අනුමෝදනාවක් කලේ නැත්තේ ඇයි කියලා”  ඉතින් බුදු හිමියන් “මහ රජ පිරිස අපිරිසිදු හෙයිනි” කියලා ඇමතිවරු දෙදෙනාගේ සිත් වල පහල වූ අදහස්  ගැන කියනවා.

කොසොල් රජු කාල ඇමතිගෙන් අහනවා එහෙම හිතුව ද කියලා.  ඔව් කිව්ව ම කියනවා “මගේ අඹුදරුවන් සමග මා සතු දේ දෙන විට ඔබට කවර පීඩාවක් ද? ම විසින් දෙන ලද දෙය එලෙස ම වේවා මගේ රටින් පිට ව යව” යැයි පවසා රටින් පිටුවහල් කරනවා.  ජුණ්හ ඇමතිගේ චිත්ත ප්‍රසාදය විමසා “ඔබ කෙරෙහි මම පැහැදුණෙමි.  ඔබ මගේ සේවකයින් පරිවාර ජනයා සමග මම දෙන ලද ක්‍රමයෙන් ම සත් දිනක් දන් දෙන්න යයි සත් දිනකට රාජ්‍යය පවරා දෙන්නම්” යැයි රාජ්‍ය පවරා දෙන ලදී.  ඊට පස්සේ ඉතින් රජතුමා බුදු හිමියන්ට මෙසේ පවසනවා.

“ස්වාමීනි බලන්න අඥානයන්ගේ ස්වභාවය මා විසින් මෙලෙස දෙන ලද දානයට පහර ගැසීය”.

“එසේය, මහරජ අනුවණයෝ නම් අන් අයගේ දන් දීමට අසතුටු වී දුගතිය උරුම කර ගනිති.  උතුමෝ නම් අන් අයගේ දානය ද අනුමෝදන් වී සුගතියට පත් වේ” යැයි ධම්මපදයේ ඇති මේ මේ ගාථාව දේශනා කරන ලදී.

“න වෙ කදරියා දෙවලොකං වජන‍්ති, බාලා හවෙ නප‍්පසංසන‍්ති දානං;
ධීරො ච දානං අනුමොදමානො, තෙනෙව සො හොති සුඛී පරත්‍ථා”ති.

ලෝහී අය කිසි දින දෙලොව නොයති අනුවණයෝ කිසිදා දානය ප්‍රශංසා නොකරති.
නුවණැත්තෝ දානය අනුමෝදන් වී අන් අයගේ පිනෙන් පරලොව දී සුවය ලබති.

දේශනය අවසානයේ ඒ ජුණ්හ ඇමති සෝවාන් ඵලයට පත්විය. පැමිණි පිරිසද යහපතට පත්වූහ. ජුණ්හද සෝවාන් ඵලයට පත්ව සත්දිනක් රජතුමා දෙන ලද ආකාරයට ම දන් දුන් බව සඳහන් වේ.

දන් දීම... දානයට පැහැදීම... මේ සියල්ල නිවන් මඟ ම තමයි.  ජුණ්හ ඇමතිගේ සිත සෝතාපන්න ඵලයට පත්වීමට තරම් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල සහිත ව ඉන්ද්‍රිය බල වර්ධනය වුනේ තවත් කෙනෙක් අග්‍ර ලෙසින් දුන් දානය කෙරෙහි වූ පැහැදීම නිසාමයි.  ඒ නිසා දානය සුළු කොට නො තකා, සම්බුද්ධ ශාසනයක් තිබෙන කාලයක දී පමණක් සිදු කර ගන්නට හැකි ඒ උතුම් තෙරුවන උදෙසා දන් දීම සිදු කර ගන්නට පසුබට නොවන්න.  තවත් කෙනෙක් දෙන විට තම තමන් සිදු කර ගත්තා හා සමානව සිත් පහදා ගන්නට දක්ෂ වෙන්න!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා