විශ්වාසයෙන් ඇදහීම!

බුදු හිමියන් පවා නිතරම මතු කරන ලද මේ වැදගත් කරුණ කෙරෙහි අවධානය යොමු කල යුතුමයි. ත්‍රිපිටකය පුරාවටද දැකගත හැකි මේ කරුණ බොහෝ පිරිසකට අතපසු වෙනවා. ඒ ගැන විමසා බලමු!

විශ්වාසයෙන් ඇදහීම!

  05 මැයි 2012

බුදු හිමියන් බොහෝ විට සත්දහම පෙන්වා දී අවසානයේ ඒ අසා සිටින පිරිසගෙන් අහන්නේ “ඔබ මම කියන නිසාද පිළිගත්තේ නැතිනම් ඔබට ඔබගේම නුවණින් වැටහුණාද?“ යන්නයි.  

බුදු හිමියන් මෙසේ අහන්නේ ඒ අය එසේ කලාද නැත්ද යන බව නොදැන නොවේ.  උන්වහන්සේට ඒ පිරිස අවබෝධයට පත්වූවාද නැත්ද යන බව උන්වහන්සේගේ බුද්ධ ඥානයෙන් දකිනවා.  එහෙත් මේ කරුණ ගෙන හැර දක්වන්නේ නිකම්ම නිකම්ම පිළිගැනීම සත්‍යාවබෝධයට උපකාරයක් නොවන බව හුවා දැක්වීමටයි.  බුදු හිමියන් විසින් පැවසූවත් පවසන පුද්ගලයා අනුව අප කරුණු විශ්වාස නොකල යුතු බව තමයි පෙන්වා දෙන්නේ.  

ගැටලුව කුමක් වුවත් එය තමන්ටම අදාල දෙයක් නම් ඔබට මෙන්න මේ කියන ආකාරයට පිලිතුරු සොයාගන්නට හැකිවෙනවා.  එවිට ඔබ කියන පුද්ගලයාට ඇති ඇදහීමක් විශ්වාසයක් නිසාවෙන් ඒ කියන දේ නිකම්ම නිකම් විශ්වාස කරන ස්වභාවයක් ඇතිවෙන්නේ නෑ.  ඒ නිසා තමයි තමන්ට ලෝකය අත්දකින විට ඇතිවන දුක අසහනය හෝ වේවා කායික මානසික පීඩාවක් නිසා හෝ වේවා විසඳාගන්නට තමන්ටම කියලා තමන්ටම ආවේණික තමන්ටම අදාල වන වුවමනාවක් ගැටලුවක් ඇතිවිය යුතුයි.  එවිට තමයි අප ඒවාට විසඳුම් සොයන්නේ.  

බොහෝ විට විශ්වය සම්බන්ධයෙන්... එහෙමත් නැතිනම් නොපෙනෙන ලෝක සම්බන්ධයෙන්... එහෙමත් නැතිනම් ලෝක ආරම්භය සම්බන්ධයෙන්... එහෙමත් නැතිනම් වෙනත් අද්භූත ගුප්ත දේවල් සම්බන්ධයෙන් නම් බොහෝ විට ප්‍රශ්ණ තිබෙනවා.  ඒවාට පිලිතුරු සෙවීම පිණිස බුදු දහම ඇසුරු කරන පිරිසකුත් සිටිනවා.  ඒත් ඒ පිරිසිදු බුදු දහම කියලා බොහෝ විට බුදු දහමේ මතුපිට දෙයක්ම ලැබගෙන විශ්වාසයෙන් පිලිතුරද අදහාගෙන රැවටීමකට පත්වෙනවා මිසක් බුදු දහමේ සැබෑ අපූරුව අත්දැකගන්නට අපොහොසත් වෙනවා.  ඉතින් විමුක්තිය පිණිස වූ නිවැරදි පිරිසිදු බුදු දහම තුල ඔය දේවල් වලටත් පිලිතුරු ලැබෙනවා තමයි.  ඒත් එය බුදු දහම සොයන්නට ඇසුරු කරන්නට හේතුවක් නොවිය යුතුයි.  මන්ද එයින් ඔබට බුදු දහමේ හරය නම් අත්දැකගන්නට මානසිකත්වයක් සකසා නොදේවි!

විශ්වාසයෙන් අදහන්නෙක් හෝ විශ්වාසය බිඳී ගිය පුද්ගලයෙක් බවට ඔබට පත්වෙන්නට සිදුවෙනවා මිසක් බුදු දහමෙන් ලැබිය යුතු දේ ලබාගන්නට අත්දැකගන්නට මේ වගේ බාහිර කරුණු කාරණා නම් උපකාර නොවේවි!  ඒ නිසා විමුක්තිය අවශ්‍ය කරන්නේ කුමකින්ද? කුමක් පිණිසද? ඇත්තටම තමන්ට විමුක්තියක් ඕනෑද යන්න විමර්ශණය කරන්නට මොහොතක් කාලය ගත කරන්නට සිදුවේවි!