වයසට යෑමෙන් නිදහස් ද?

  26 ඔක්තෝබර් 2015

Article summary

මහල්ලෙකු තුල තමාගේ වයසට යෑම නුවණින් දකින තැනැත්තා, මේ පැවැත්මේ වයසට යාමේ ක්‍රියාවලිය සමඟ ප්‍රමාද නොවන ප්‍රඥාවන්තයෙකි!

සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක් ලෙසින් “වයසට යෑම” ගත හැකියි.  මනුස්සයෙක් වුණත්... තිරිසන් සතෙක් වුණත්... කෙටියෙන් කියනවා නම් අජීවි යැයි සම්මත ගස්... ගල්... ඇතුළු සෑම දෙයක් ම මේ කියන “මහලු වීම” හෙවත් “වයසට යෑම” කියන කාරණයට ගොදුරු වෙනවා.  මෙම සෑම දෙයකට ම උරුම වූ ධර්මතාවය කිසි සේත් ම මඟ හරවා ගන්නට නො හැකියි.

මිනිස්සු ඉතින් තමන් දන්න සෙල්ලම් දාලා මේ කියන ධර්මතාවය වළක්වා ගන්නට එක එක උත්සාහයන් දරනවා.  නව නිපැයුම් කරනවා.  නමුත් ඒ සියල්ලම තාවකාලික විසඳුම් පමණයි. මේ “වයසට යෑම” – “මහළු වීම” කියන සිද්ධිය මඟ හරවා ගැනීමට නම් ඒ කිසිම පිළියමකින් නො හැකි වෙනවා.  ඇයි දන්නවද? 

ටිකක් හිතන්න... ඔබට හිතෙන්නේ “වයසට යෑම”... “මහලු බව” කියන විට සුදු වූ පැහුණු කෙස්... රැළි වැටුණ සම... දත් නැති කටක්... අබලන් වූ සිරුරක් වගේ “මහල්ලෙක් ව” පමණයි නේද?

නමුත් මේ “වයසට යෑම, මහලු බව” ට දෙන්නට හැකි තවත් නමක් තමයි වෙනස් වීම.   එන්න එන්නම ජරාවට පත් වීම.  විනාශය කරා ලඟා වීම.  අවසානය කරා ලඟා වීම.  එය ඔබට වෙනස් කරන්නට හැකි ද?  මඟ හරවා ගන්නට හැකි ද?  හැම මොහොතක ම මේ වෙනස් වීම සිද්ධ වෙනවා.  එන්න එන්නම විනාශය කරා ලඟා වීම කියන කාරණය සිද්ධ වෙනවා. 

ඉතින්, “මහළු බව... වයස යෑම” කියන කාරණයට තාවකාලික පැලැස්තර අලවමින් තාවකාලික විසඳුම් ලබා දෙමින් ඒවා අසාර්ථක වෙන විට කම්පනයට ලක් වෙන වෙලාවේ නරක ද මේ යථාර්ථය භාර ගන්නට තරම් ශක්තිමත් මනසක් ඇති කර ගැනීම?  “මහළු බව” හෙවත් “මම” යන “මහල්ලා” ගේ නිමිත්ත දැක සැබෑ විමුක්තිය පිණිස මඟ පාදා ගැනීම?

ධනාත්මක චින්තනය කියන්නේ අනිවාර්යයෙන් ම සිද්ධ වෙන දෙයක් “නෑ... මට එහෙම වෙන්නේ නෑ” කියමින් අසහනයෙන් අවිවේකී ව අසිහියෙන් කටයුතු කිරීම නොවේ.  ධනාත්මක චින්තනය කියන්නේ අනිවාර්යයෙන් ම සිදු වන දෙයක් එය අනිවාර්යයෙන් ම සිදු වන බව නුවණින් දැක ඒ සඳහා සාර්ථකව නිදහසේ විවේකී ව මුහුණ දිය හැකි මානසිකත්වයක් සකස් කර ගැනීමයි.

එසේ නම්, නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටිමින් “මහලු බවට” ගොදුරු ව ඇති ඔබගේ කය සහ මන නිදහස් කර ගැනීමට කටයුතු කර ගන්න!  ඇයි දන්නවා ද?  මේ “මහළු බව” “වයසට යෑම” කියන කාරණයෙන් විමුක්තිය ලබන්නට හැක්කේ ප්‍රඥාවන්තයා ට පමණයි!  ඒ නිසා නැණවත් ව විවෘතව විමසන්න - ඔව්! තමන් ගැනම!