කැමති සේ නො ලැබීමේ දුකෙන් නිදහස් ද?

  10 පෙබරවාරි 2012

Article summary

කැමති සේ නො ලැබීමේ දුක නුවණින් දකින තැනැත්තා, මේ අසාරවත් පැවැත්මේ ප්‍රමාද නොවන ප්‍රඥාවන්තයෙකි!

උපන් මොහොතේ පටන් ගෙන මරණ මොහොත දක්වා අප කැමති දේ තමයි සොයන්නේ.  අපට සියල්ල ම අපට කැමති සේ ඕනෑ කරනවා.  එහෙම නේද?  ඉපදුන මොහොතේ පටන් ගෙන හඬන්නේ කැමති තත්වයක් සොයන නිසයි.  වැඩෙන දරුවෙක් ලෙසින් අප ඉල්ලා සිටින්නේ කැමති දේ මයි.  කැමති සේ නො ලැබුණ විට හඬා වැටෙනවා.  තරහ ගන්නවා.  කෙසේ හෝ මැරෙන මොහොත දක්වා ම අප සටන් වදින්නේ අපගේ කැමැත්තට අනුව කටයුතු සිදු කර ගන්නටයි.

අපගේ ජීවිතයේ සතුටු දායක වූ සියලු අවස්ථා බලන්න.  ඒ සියල්ලම සතුටු දායක වුනේ අපට කැමති සේ සිදු වූ නිසා නේද?  එසේ නොවූ සියලු අවස්ථා තුල තිබුණේ දුක, තරහ, අසහනය, පීඩාව විතරමයි නේද? 

ආහාර වේවා... ඇඳුම් පැළඳුම් වේවා... වාසස්ථාන වේවා... සෑම භෞතික තත්වයක් තුල ම... සෑම පුද්ගලයෙක් තුල ම... සෑම අවස්ථාවක් තුල ම... සෑම විශ්වාසයක් තුල ම... අප සොයන්නේ අපගේ කැමැත්තට අනුව යමක් මයි නේද?  එය එසේ නොවන කල අප ගැටෙනවා... දුකට පත් වෙනවා... අසහනයට පත් වෙනවා... සටන් වදිමින් උත්සාහ කරනවා අපට කැමති සේ සියල්ල ලබා ගන්නට. අසාර්ථක වන අවස්ථා එමටයි.  ඒ වගේම සාර්ථක වීම තුල ද තියන්නේ මහා අසහනකාරී වෙහෙසකාරී වැඩපිළිවෙළක් ම විතරයි.  ඔබට එය දැනුනාද?

ලෙඩ වෙන්නට කොතරම් අකමැති වුවත්... ලෙඩ නොවී ඉන්නට හැකි වුනා ද? වයසට යෑමට කොතරම් අකමැති වුවත්... එය එසේ කර නො ගන්නට හැකි වුනා ද?  මරණයට කොතරම් අකමැති වුවත් එය ඉක්මවා ගන්නට හැකි වුනා ද?  ප්‍රියයන් ගෙන් වෙන් වන්නට අකමැති වුවත් එය කැමති සේ කර ගන්නට හැකි වුනා ද?  අප්‍රියයන් හා එක් වන්නට අකමැති වුවත් එය කැමති සේ වුනා ද?

“කැමැත්ත” මේ ලෝකය සකස් කරන මූල අංගයක් ලෙසින් ප්‍රඥාවෙන් හඳුනා ගන්නට නම් මුලින් ම මේ එදිනෙදා ජීවිතයේ කැමති සේ ලැබීම සහ නො ලැබීම ගැන ප්‍රඥාවන්ත ව දැක දැන හඳුනා ගන්නට වෙනවා. 

එසේ නම්, නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටිමින් “කැමති සේ නො ලැබීමේ දුක” ඉක්මවා නැති පැවැත්මෙන් නිදහස් වන්නට කටයුතු කර ගන්න!  ඇයි දන්නවා ද?  මේ “කැමති සේ නො ලැබීමේ දුක” කියන කාරණයෙන් විමුක්තිය ලබන්නට හැක්කේ ප්‍රඥාවන්තයා ට පමණයි!  ඒ නිසා නැණවත් ව විවෘතව විමසන්න - ඔව්! තමන් ගැනම!