ලෙඩ වීමෙන් නිදහස් ද?

  01 පෙබරවාරි 2012

Article summary

ලෙඩෙකු තුල තමාගේ ලෙඩ වීම නුවණින් දකින තැනැත්තා, මේ පැවැත්මේ ලෙඩ වීමේ ක්‍රියාවලිය සමඟ ප්‍රමාද නොවන ප්‍රඥාවන්තයෙකි!

ලෙඩ වීම කියන්නේ සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක්.  එයට වයස් භේදයක් නෑ.  කොතරම් නිරෝගී ජීවිතයක් ගත කරන්නට උත්සාහ කලත් කුමන හෝ ආකාරයේ ලෙඩක් රෝගයක් හැදෙන එක සාමාන්‍ය දෙයක් බව අත්දැකීමෙන් දන්නවා ඇති.  ජීවී වුවත් අජීවි වුවත් මේ කියන “ලෙඩ වීම” පොදු ධර්මතාවයක්.  නමුත් ජීවි නොවන දේ ලෙඩ වන විට අප ඒවා හඳුන්වා දීමට වෙනත් වෙනත් වචන භාවිතා කරන නිසා ඒවා ද “ලෙඩ වීම” කියන ධර්මතාවයට යටත් බව අපට දැක ගන්නට මඟ හැරෙනවා.  ඉතින්, අප “ලෙඩ වීම” අර්ථ දක්වන්නේ ඉතාමත් පටු මට්ටමකින් වීම මෙයට ප්‍රධානතම හේතුවයි.

අප ලෙඩ වීම දකින්නේ ලෙඩ වීම යැයි අප හඳුන්වා දෙන තත්වයක් අපට අත්දකින්නට හැකි මොහොතට පමණයි.  අප නීරෝගී යැයි පවසන්නේ ඇත්තට ම ලෙඩ වීම කියන කාරණය යටපත් වී තිබෙන මොහොතටයි.  ඉතින් යම් රෝගයක් අත්දකින්නට හැකි තත්වයකට පත් නොවෙනකම් අප සිතා ගෙන සිටින්නේ අපි නිරෝගීයි කියලා.  නමුත් ඇත්තටම අපි නිරෝගී ද?  ලෙඩ වීමට ඇති හැකියාව දරා ගෙන සිටිනවා කියන්නේ ම අප රෝගීන් නොවේ ද? ලෙඩ වීම අප්‍රකට ව ඇති ස්වභාවයකට නිරෝගී යැයි නම් කිරීම කොතරම් අනුවණකමක් ද?

“යමෙක් මොහොතකට හෝ නීරෝගී බවක් පැතීම අනුවණකම සහ නො දන්නා කම හැර අන් කවරක් දැයි” ධර්මයේ සඳහන් වෙනවා.  එසේ පතන්නේ ම තමන්ගේ සහ පොදු ධර්මතාවය ගැන සිහියක් නැති කෙනෙක් ම තමයි.  නමුත් නුවණැත්තා කරන්නේ මේ “ලෙඩ වීම” කියන ධර්මතාවය භාර ගනිමින් එය ට ශක්තිමත් ව මුහුණ දෙන්නට හැකි ප්‍රඥාවන්ත මානසිකත්වයක් සකස් කර ගැනීමයි.

බහුතරයක් මිනිසුන් ලෙඩ වෙනවා ට බියයි.  ඒ නිසා නිරෝගී ජීවිතයක් උදෙසා කරන්නට හැකි හැමදේම සිදු කරනවා.  එසේ කර ගන්නට අපොහොසත් වීම ම ඔවුන් ව තව දුරටත් බිය ට පත් කරමින් මරණය කරා යොමු කරනවා. ඉතින් ලෙඩක් හැදුණා ම මරණයට පත්වීම තරම් එම රෝගය දරුණු වීමට මේ කම්පනය වන බියපත් මානසිකත්වය බොහෝ දුරට හේතු වෙනවා.

ඉතින් මේ ලෙඩ වීම ඇත්තටම මඟ හරවා ගෙන නීරෝගී වන්නට අපට හැකි ද? ඇයි බැරි! නේද? එහෙම නේද හිතෙන්නේ.  වෛද්‍ය විද්‍යාව මේ වන විට ඉතාමත් දියුණුයි.  තාක්ෂණයත් එසේමයි.  ඒ නිසා කොතරම් දරුණු ලෙඩ රෝග වුණත් ඉක්මනින් ම සුව කර දෙනවා ද නේද?  ඒ නිසා මේ දේවල් ගැන අහන දකින ඔබට අනිවාර්යයෙන් ම හිතෙනවා ඇති “ලෙඩ වීම” කියන නිමිත්ත ජය ගත්තා කියලා.  ලෙඩෙක් බවට පත්වීම කියන කාරණය මඟ හරවා ගත්තා කියලා.  නමුත් එසේ සිතෙන්නේ ම “ලෙඩ වීම” කියන නිමිත්ත ඔබ ප්‍රඥාවන්ත ව දැක්කේ නැති නිසාමයි. 

එසේ නම්, නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටිමින් “ලෙඩ වීමට” ගොදුරු ව ඇති ඔබගේ කය සහ මන නිදහස් කර ගැනීමට කටයුතු කර ගන්න!  ඇයි දන්නවා ද?  මේ “ලෙඩ වීම” කියන කාරණයෙන් විමුක්තිය ලබන්නට හැක්කේ ප්‍රඥාවන්තයා ට පමණයි!  ඒ නිසා නැණවත් ව විවෘතව විමසන්න - ඔව්! තමන් ගැනම!