අප්‍රියයන් හා එක්වීමෙන් නිදහස් ද?

  04 පෙබරවාරි 2012

Article summary

අප්‍රියයන් හා එක් වන්නට සිදු වීම තුල මේ පැවැත්මේ අසාරත්වය නුවණින් දකින තැනැත්තා, මේ පැවැත්මේ අප්‍රියයන් හා එක් වන්නට සිදු වන ක්‍රියාවලිය සමඟ ප්‍රමාද නොවන ප්‍රඥාවන්තයෙකි!

අප කොතරම් මඟ හරින්නට උත්සාහ කලත් අපට අප්‍රියයන් හා එක්වීමට සිදු වෙනවා.  අප්‍රිය කරන පුද්ගලයෙක් වශයෙන් වේවා... තරහ කාරයෙක් වශයෙන් වේවා... තිරිසන් සතෙක් ලෙසින් වේවා... නො පෙනෙන ජීවියෙක් ලෙසින් වේවා... අප්‍රිය කරන ජීවි මෙන්ම අජීවි දේ සමඟ ද එක් වන්නට සිදු වීමට ධර්මතාවයක්.

ඔබට අප්‍රිය... ඔබ අකමැති ඕනෑම දෙයක් සමඟ මොහොතක් හෝ ඇසුරක් පවත්වන්නට ලැබීම මේ පැවැත්ම තුල මඟ හරින්නට නො හැකි කාරණයක්.

ඔබට අප්‍රියයන් හා එක්වීමට සිදු වූ සියලු සිදු වීම් මේ මොහොතේ සිහිපත් කර ගන්න... ඒ අකමැත්ත... හදවතේ නැඟුන අප්‍රසාදය... සිතට නැඟුන ආවේගය... කොතරම් උත්සාහ කලත් මඟ හැර ගන්නට අපහසු වූ වාර ගණන... දැනෙනවා ද පැවැත්ම කියන්නේ මේ හැම දේම අත්දකින්නට ලැබෙන්නක්. 

ඒකට සූදානම් ද?  කිසිම කම්පනයක් නැතිව ඒ අත්දැකීම ලබන්නට සූදානම් ද?  කොතරම් කිව්වත් “අප්‍රිය දේ මට ගැටලුවක් නෑ” කියලා... අත්දැකීම ලැබෙන විට ඔබගේ සිත... කය... වචනය... ඒ දේ ට මුහුණ දෙන්නේ කොහොමද?  අවංකව ම විමසීමක් කලා ද? කල යුතු ම වෙනවා!

එසේ නම්, නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටිමින් “අප්‍රියයන් හා එක්වීම” ඉක්මවා නැති පැවැත්මෙන් නිදහස් වන්නට කටයුතු කර ගන්න!  ඇයි දන්නවා ද?  මේ “අප්‍රියයන් හා එක්වීම” කියන කාරණයෙන් විමුක්තිය ලබන්නට හැක්කේ ප්‍රඥාවන්තයා ට පමණයි!  ඒ නිසා නැණවත් ව විවෘතව විමසන්න - ඔව්! තමන් ගැනම!