ඔවුන් නිදහස් වූවා ද?

  20 පෙබරවාරි 2012

Article summary

වර්තමානයේ යථා ස්වභාවය තුලින් අතීතය ද අනාගත ද නුවණින් විනිවිද දකින තැනැත්තා, මේ අනාථ සංසාර පැවැත්ම තුල තව දුරටත් ප්‍රමාද නොවන ප්‍රඥාවන්තයෙකි!

දැන් ඔබගේ මුතුන් මිත්තන් ගැන සිතන්න... අම්මා... තාත්තා... ආච්චි... සීයා... එයාලට කලින් පරපුර...  ඔබ දැන ගෙන සිටි ජීවි අජීවී සියල්ල ගැන බලන්න... ඒ අය දැන් ඉන්නවද?  ජීවි වේවා අජීවි වේවා මරණය ඉක්මවන්නට හැකි වූ කෙනෙක් නො මැරී ඉන්නට හැකි වූ කෙනෙක් ගැන අහලා තියෙනවා ද? ලෙඩක් හැදෙන්නේ නැති වූ කෙනෙක්... ජරාවට පත් නොවූ කෙනෙක්... වහල් භාවයන් නිදහස් වූ කෙනෙක්?

ඒ අයත් ඔබ වගේම මේ දේවල් මඟ හරවා ගන්නට කැමති වෙන්නට ඇති නේද? ඒ අයත් ඔබ වගේ විසඳුමක් සොයන්නට ඇති නේද?  නමුත් ඒ අයට සොයා ගන්නට බැරි වෙලා.  මිතුරු වෙසින් ඉන්න හතුරා ව හඳුනා ගන්නට තරම් දක්ෂ වෙලා නෑ.  ඒ දක්ෂ භාවය ලබන ධර්මය ඇසුරු කරන්නට... ඒ දක්ෂ භාවය ලබන්නට මඟ පෙන්වන කල්‍යාණ මිත්‍ර ඇසුර ලබා ගැනීම නම් ඒ අයට මඟ හැරිලා.

අනාගත පරපුරටත් එසේමයි.  මේ දේවල් වලින් ගැලවීමක් නෑ.  කොතරම් තාක්ෂණය දියුණු වුවත්... කොතරම් නව නිපැයුම් දියුණු වුවත් ලෝකය තුල විසඳුමක් නැති ධර්මතාවයක් ලෝකයේ තිබෙනවා.  ලෝකයෙන් එතෙර වීම තුලින් පමණක් විසඳුමක් ලබන්නට හැකි ප්‍රශ්න ටිකක් හැමදාකම තිබෙනවා.

අන්න ඒ නිසා ප්‍රඥාවන්ත වන්න!  තමන්ගේ ම අත්දැකීම බලන්න.  තමන් ව විනිවිද යෑම ආරම්භ කරන්න.  ඔබගේ අතීත පරපුර ගැන සිතන්න... ඒ අය වගේ හිස් අතින් මිය යන්නට ද මෙච්චර වෙහෙස වෙන්නේ? තමන්ගේ ම ගැලවුම් කාරයා විය හැක්කේ තමන් ට ම පමණයි!  ඒ නිසා ඒ ගැන නැණවත් ව පර්යේෂණය කරන්න. 

බුදු දහම ලැබෙන්නේ එවිටයි!  මෙතෙක් කිවූ කාරණා බුදු කෙනෙක් ලෝකයට දුර්ලභ ව පහල වෙලා කියන්නට අවශ්‍ය කරනා නොවේ.  නුවණින් මේ අනතුර දකින කෙනා විසඳුමක් සොයන විට පෙර නො ඇසූ විරූ යථාර්ථයක් අසා ගනිමින් විමුක්තිය ලබන්නට හැකි වෙන්නේ ඒ අති දුලභ සම්මා සම්බුදු වදන ලැබීම තුලයි. 

එසේ නම්, නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටිමින් මේ පැවැත්ම ගැන පර්යේෂණය කරන්න!  ඇයි දන්නවා ද?  පෙර නො ඇසූ විරූ තථාගත ශ්‍රී සත්ධර්මය අවබෝධ කර ගනිමින් සැබෑ විමුක්තිය ලබන්නට හැක්කේ ප්‍රඥාවන්තයා ට පමණයි!  ඒ නිසා නැණවත් ව විවෘතව විමසන්න - ඔව්! තමන් ගැනම!