සතර පෙර නිමිති තුල ගැඹුර

සතර පෙර නිමිති තුල ගැඹුර

දැන් එහෙනම් මේ සතර පෙර නිමිති තුල ගැඹුර සහ එය විමුක්තිය පිණිස කෙසේ සම්බන්ධ වන්නේ ද යන්න ගැන අනුමාන හෝ වැටහීමක් ලැබෙන්නට ඇති නේද?

“මහල්ලෙක්, ලෙඩක්, මල මිනියක්, පැවිදි රුවක්” කියන්නා වූ සතර පෙර නිමිති දකින පුද්ගලයා තමයි විමුක්තිය පිණිස ගමන ආරම්භ කරන්නේ.  එය සිදුහත් බෝ සත් චරිතයට පමණක් සීමා වූ අවස්ථාවක් නොවේ.  බුද්ධ චරිතාපදානය තුල මෙයට ඉතාමත් වැදගත්කමක් ලබා දී පෙන්වා දෙන්නෙත් මේ අවස්ථාවෙන් තොරව යමෙකු විසින් අවංකව ම විමුක්තිය පිණිස සත්‍ය ගවේෂණය ආරම්භ නොවන බව පෙන්වා දෙන්නටයි.  නමුත් අවාසනාවකට ඒ වැදගත් ගැඹුරු අර්ථය ඉස්මතු වන ආකාරයට මේ සතර පෙර නිමිති විග්‍රහය අපට ලැබෙන්නේ නෑ.  ලැබුනත් එය ඉතාමත් කලාතුරකින්. 

තවත් ආකාරයකින් කියනවා නම් සම්මා සම්බුද්ධ ශාසනයක මාර්ග ඵල ලැබීම පිණිස මේ සතර පෙර නිමිති දැක අවබෝධයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා.  එය එසේ නොවී ම තුල ගැඹුරු පෙර නො ඇසූ විරූ දහමක් වෙනුවට දන්නා මතුපිට වූ සරල සම්මත ඇත්ත සහිත දහමක් ඉස්මතු වී දකිනවා.  එයම බුදු දහම සේ දැනෙනවා.

ඉතින්, මොහොතක් කැප කර බලන්න ඔබ යැපෙන්නේ ඇහැට පෙනෙන රූප, කණට ඇහෙන ශබ්ද, නාසය දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ සහ මේ ඔක්කෝම එකතුව මන ට දැනෙන ධම්ම හෙවත් සිත වින්දනය කරන විඳින අවස්ථා එකතුව මත පමණයි නේද? 
ඔබට ඇත්ත ම ඇත්ත කියලා හිතෙන්නේ ම මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මට්ටමේ සම්මත කර ගත් කාරණා පමණයි නේද? 
මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක්, පැවිදි රුවක් කියන කාරණා පවා බාහිරයෙන් ඉතාමත් පහසුවෙන් වටහා ගන්නට හැකි මට්ටමෙන් ඇත්ත කියලා දැනෙන මට්ටමෙන් තමයි විග්‍රහ කර ගන්නේ නේද? 

ඉතින්, කැමති නම් මොහොතක් කැප කොට තව ටිකක් ගැඹුරින් දකින්න.  මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ඉතාමත් සරලව වටහා ගන්නට හැකි බාහිර කාරණා ඔස්සේ පදනම් ව සම්මත කර ගත්ත ඇත්තට සතුටු වී ඉන්නට පුළුවන් නම් කමක් නෑ ඉතින්.  ඔබේ තීරණය නේ.  කව්රුවත් ඔබට බල කරන්නේ නෑ! 

නමුත්, තමන්ගේ ජීවිතය ම.... මෙච්චර කාලයක් ඇත්ත කියලා හිතා ගෙන සිතින් කයින් මහන්සියෙන් කැප වෙලා පවත්වා ගෙන ගියේ අමු පට්ට පල් බොරුවක් නම්?  ගඟට ඉනි කැපුවා වගේ වැඩක් නම් වෙන්නේ?  ඔබට මොකද හිතෙන්නේ?

සෑම මොහොතක ම කාලය තීරණය කල කාල බෝම්බයක් වගේ තත්පරයක් ගානේ අඩු වෙමින් මරණයට ම ලං වෙනවා.  නමුත් තත්පරයක් ගානේ දැනෙන්නේ කාලය තියෙනවා වගේ.  තමන් ඇතුළු හැමදේම හැම මොහොතක ම වෙනස් වෙනවා. නමුත් හැම මොහොතක ම වෙනස් වීම ගැන අදහසක් නැතිව ඒ වෙනස් වීම තුල හිර වෙලා වෙනස් නොවන බවක් අත්දකිනවා වගේ... ඉපදුන මොහොතේ පටන් ගෙන එක එක ජාතියේ “මම” හැදුනත් ඒ සියල්ලම එකතු කර ගෙන එකම “මම” ගැන අදහස් ඇතිව වින්දනය කරන ජීවිතයක්... මුළු ජීවිත කාලය ම කියලා ගත කරලා තියෙන්නේ අන්තිමට මහා බොරුවක් නම්? ඔක්කෝම පුස්සක් නේහ්? තීරණය ඉතින් ඔබේ අතේ!

ඔය ලැබී ඇති ජීවිතයෙන් සත්තුත් කරන දේම කර කර ඉතාමත් සරල වින්දනයකට සීමා වෙලා සංකීර්ණ බොරුවක් සරල ඇත්තක් සේ භාර ගෙන අන්ත අසරණ වෙලා ඉන්නවට වඩා උතුම් වූ අර්ථවත් දෙයක් කරන්නට කැමති නම් විමසන්න... නැණවත් ව විමසන්න!  සතර පෙර නිමිති දැකීම පිණිස මානසිකත්වය සකස් කර ගෙන බලන්න නිමිති දුටු විට ඔබගේ ජීවිතයට අර්ථයක් ලැබෙන ආකාරය කොහොමද කියලා!

ඉතින් ප්‍රශ්නය තමයි උත්තරයට වඩා වැදගත්.  ඔබගේ ප්‍රශ්නය අවංක නම් ඒ ප්‍රශ්නය විසින් ඔබව නිවැරදි උත්තරය කරා ගෙන යනවා.  ඒ නිසා උත්තර හොයන්න කලින් ප්‍රශ්නය හරියට තේරුම් ගන්නට නුවණ මෙහෙයවීම වැදගත්!

එහෙනම් ඉතින් නිර්වාණ ධර්ම වෙබ් අඩවිය සමඟ රැඳී සිටිමින් මේ අර්ථවත් ජීවිතයක් පිණිස ගත හැකි දේ උකහා ගන්න!

ඉතින් අපට මඟ හැරී තිබෙන්නේ මොනවද... ඒවායේ වටිනාකම මොනවා කියලවත් අප දන්නේ නෑනේ ඒවා අපට මඟ හැරී තිබෙන තාක් නේද?  ඒ නිසා මඟ හැරී ඇති දේ නැණවත් ව විමසන්නට උත්සාහ කරන්න!