ලෙඩ බව නම් වූ දෙවන නිමිත්ත විනිවිද දකිමු

මහළු බව සේම ලෙඩ බව කියන කාරණයත් ගැඹුරින් දැකිය යුතු කාරණයක්.  ‍ලෙඩ වීම හෙවත් රෝගී බව මඟ හරවා ගන්නට නො හැකි බව කියන කාරණය ගැන අප දැනටමත් ඉතාමත් කෙටියෙන් විග්‍රහ කර ගත්තා.  මෙම කොටස තුල දී වැඩි දුරටත් මේ “ලෙඩ වීම හෙවත් රෝගී බව” කියන කාරණය අප විසින් නුවණින් දැකිය යුතු ආකාරයත්, එය අපගේ නිවන් මඟ ආරම්භ කර ගන්නට කොතරම් දුරට වැදගත් ද කියන කාරණයත් ගැන විමසා බලන්නට යොමු වෙනවා.

ඒ වගේම අප වරදවා අසා ගත් සම්මා සම්බුද්ධ චරිතාපදානයේ ඉතාමත් වැදගත් අවස්ථාවක් විනිවිද දැකීමට ද මෙම කොටස තුලින් බලාපොරොත්තු වෙනවා.  ප්‍රඥාවන්ත සිදුහත් කුමරු විසින් මේ දෙවන නිමිත්ත වන “ලෙඩක්” හෙවත් රෝගී බව දුටු ආකාරයත් විමසා දැන ගන්නට මෙම කොටස වෙන් වෙනවා. 

පරම්පරාවෙන් රැගෙන ආ නිසා... පොතේ පතේ තිබෙන නිසා... ගරු කටයුතු පිරිස කියන නිසා යමක් පිළිගැනීම තුල කොතරම් වරදක් වෙන්නට හැකි දැයි ඔබට මේ කාරණා අවසානයේ දැනේවා! සම්බුදු ඔවදන අනුව කාලාම සූත්‍රයේ කියැවෙන කාරණා කොතරම් වැදගත් දැයි ඔබට වැටහේවා!  ත්‍රිපිටකයේ කාලාම සූත්‍රය කියවන්න!

ඔබගේ ප්‍රඥාව මෙහෙයවන්න.  පොතින් පතින් එකතු කර ගත්ත දත්ත සමූහයකින් රැස් කර ගත් දැනුම් සම්භාරයකින් පෙර නො ඇසූ විරූ තථාගත ශ්‍රී සත්ධර්මය අවබෝධ කල නො හැකි බව දකින්න.  ප්‍රඥාවන්ත වන තරමට ම ඔබට මේ ගැඹුරු දහම් විනිවිද යන්නට හැකි වේවි!