චීවරය යනු කුමක්ද?

  08 ජනවාරි 2012

චීවරය යනු කුමක්ද? Copyright Claims

චීවරය හෙවත් සිවුරු දරා ඇති පිරිස භික්ෂුවක්, භික්ෂුණියක් ලෙසින් හඳුන්වන්නට හැකියි.  ඒ පිරිස තමයි බුද්ධ ශාසනය සංකේතවත් කරන පිරිස.  හරියට සෑම ආගමක ඒ ඒ ආගමට වෙන්වූ ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කල බව ඇඳුමෙන් පවා පෙන්වන පිරිසක් සිටිනවානේ.  ඒ වගේ තමයි. මේ සමානකම නිසාම තමයි ඉතින් බුදු දහමත් ආගමක් ලෙසින් හඳුනාගෙන ආගමක් බවටම පත්කරන්නට උත්සාහ කරන්නේත්.  ඒ බවත් අමතක නොකල යුතුයි.  

ගිහි ජීවිත අතහැර මහණකම ලබන පුද්ගලයා විසින් දරන ඇඳුම තමයි සිවුර හෙවත් චීවරය කියන්නේ.  බුදු හිමියන්ගේ කාලයේදි භාවිතා කලේ මිනී ඔතා දමා පරණ වූ රෙදි කැබලි එකතු කර සකසා ගත් පොරවනයක්.  ඒ පොරවනයට කහට වර්ණ ආවේ ඒවා ගස් වල පොතු කොල කොටා වර්ණ ගැන්වූ නිසාවෙනුයි.  එසේ වර්ණ ගැන්නුවෙත් මැසි මදුරු උවදුරු වලින් බාධා අවම කරගැනීම පිණිසයි.  ඉතින් පසුකලකදී මිල මුදල් තිබෙන පිරිස් විසින් බුදු හිමියන්ගෙන් අවසර ගෙන මරණයකදී වෙනම රෙද්දක් වශයෙන් ලබා දෙන්නට තෑගි කරන්නට පටන් ගත්තා.  මේ වන විට බහුලව මිලදී ගන්නට හැකි ආකාරයේ පොරවනයක් ලෙසින් සකසා තිබෙන්නේ ඒ අනුව ආ ක්‍රම රටාවයි.  

මෙසේ චීවරයක් පොරවාගෙන ගිහි ජීවිතයේ බාධක වලින් ඉවත් වෙන පුද්ගලයාට කෑම බීම ටිකත් ලබාගන්නට සිද්ධ වෙන්නේ අනුන්ගෙන්ම තමයි.  එයට පිඬු සිඟා යනවා කියලා කියනවා.  එයත් මේ වන විට දියුණු වී ඒ චීවරය දරන පිරිසට බුදු හිමියන් ප්‍රමුඛ ශ්‍රාවක සංඝ පිරිස සිහිපත් කර ආහාර පාන ඇතුලු අත්‍යවශ්‍ය දේ පිරිකර වශයෙන් ලබා දෙන්නට මේ වන කටයුතු සිදු වෙනවා.  

ඉතින් මේ ආකාරයේ පහසුකම් සහිත ජීවන රටාවක් සකස් වී තිබෙන්නේ බුදු හිමියන් පෙන්වා දුන්නාවූ ධර්මය නිදහසේ අවබෝධ කරගැනීමට පරිසරය ලබා දීම පිණිසයි.  

නිවන් දකින්නට චීවරයක් දැරිය යුතුමද?

බුදු දහම තුල නිවන් අවබෝධ කරගත්ත භික්ෂු, භික්ෂූනී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිසට තමයි ආර්ය සංඝරත්නය කියලා කියන්නේ.  මේ අය ගැන ඉදිරියේදී විමසා බලමු. චීවරයක් නොදරා අරිහත්වයට පවා පත්වූ පිරිස් බුදු හිමියන්ගේ කාලයේත් සිටියා.  ඒත් අරිහත්වයට පත්වූ පසුව නම් සාමාන්‍යෙයන් ගිහි පරිසරයක ගිහි ඇඳුම් සහිතව ජීවිතයක් ගත කරන්නට අපහසු වෙනවා.   ඒ දේවල් හේතු ඇතිව ඉදිරියේදී සොයා බලමු.

ඉතින් දැනට දැනගත යුතු කාරණය තමයි නිවන් දකින්නට චීවරයක් දැරීම අත්‍යවශ්‍ය නොවේ.  අවශ්‍ය වන්නේ ඔබ හිතින් චීවරයක් දරාගෙන ඒ මහණ බවට... ඒ සංඝරත්නයට ඇතුලුවූවාද නැත්ද යන්න පමණයි.  

නිවන යනු ඇඳුමක හෝ කෑමක බීමක වත් පිළිවෙතක තිබෙන්නක් නොවෙන බව වටහාගැනීම තුලම ප්‍රඥාව අවධි වෙනවා.  චීවරයේ ගැඹුරු අර්ථයකුත් තියෙනවා.  ඒ තමයි සිතේ කිලිටි ඉවත් කරන වැඩපිලිවෙලට බැසගත්තාවූ පුද්ගලයෙක් යන අදහස සංකේතවත් කරන්නට තමයි චීවරයක් තිබෙන්නේ. ඉතින් අරුත් තේරුම්ගෙන නිවැරදිව සියලු ගමන් කෙලවර කරන ගමන අරඹන්නට අදිටන් කරගන්න!

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;