බුදු දහම කුමක් පිණිසද?

  02 ජනවාරි 2012

බුදු දහම කුමක් පිණිසද? Copyright Claims

ඔබ ආගමික පුද්ගලයෙක් වුවත්... භෞතිකවාදියෙක් වුවත්, විශ්වාස කරන්නෙක් හෝ නොකරන්නෙක් වුවත්... ඔබ ඔබගේම මනස ක්‍රියාත්මක වන ආකාරය දැන ගෙන නොසිටීම නම් යහපත් කරුණක් නොවේ.  මේ විදියට අප අපගේම මනස හඳුනානොගතහොත් අපට සිදුවන්නේ අප මානසික රෝගීන්බව නොදැන නොදැක එසේ නොවෙන්නන් සේ හැසිරෙන්නටයි.

ඕනෑම මොහොතක මානසිකව රෝගී තත්වයට පත්වෙන්නට හේතු සකස් වෙන්නෙත් මේ ආකාරටයමයි.  නිදන්ගත රෝගයක් සේ මානසික රෝග අප තුල වැඩෙනවා.  හේතුව තමයි අපගේ මනස  හොයනවා වෙනුවට... ඒ වෙනුවෙන් කාලය කැප කරනවා වෙනුවට අප අනෙකුත් ඉන්ද්‍රීයයන්ගෙන් ලැබෙන දත්තයන් හමුවේ තීන්දු තීරණ ගෙන ඒවායෙන් අන්ධව ඇලී බැඳී කටයුතු කරනවා.  මේ ඔක්කෝම අස්සේ අප දන්නේම නැතිව අප උමතු රෝගින්බවට පත්වෙලා.  එය කොතරම් දරුණු මට්ටමක ගොස් තියෙනවාද කියනවා නම් අප බොහෝ දෙනෙක් එය පිළිගන්නටවත් කැමති නෑ.

බුදු දහමේ සැබෑ අපූර්වත්වය තමයි එය ඔබට කිසිවක් පොරොන්දු වෙන්නේවත්... බලහත්කාරයෙන් විශ්වාස කරවන්නේවත්... මරණයෙන් මතු අත්දකින සැපයක් සුවයක් ගැනවත් පවසන්නේ නෑ.  මේ දහම ඔබට අන්ධයෙක් සේ කටයුතු කරන්නට... අන්ධයෙක් සේ විශ්වාස කරන්නට යොමු කරවන්නේ නෑ.  බුදු දහමේ මේ මොහොතේ ක්‍රියාත්මක වන සැබෑම ගැටලුව හඳුනාගෙන ඒ ගැටලුවට සැබෑම හේතුව හඳුනාගෙන ඒ ගැටලුව විසඳාගැනීම පිණිස කටයුතු කල යුතු ආකාරය පෙන්වා දෙනවා.  ඒ සියල්ලම මේ මොහොතේ මේ ජීවිතය තුල කරගන්නට තමයි මේ දහම තියෙන්නේ.  ඔබට ප්‍රතිඵල එසැනින් අත්දැක ගන්නට හැකියි.   හැබැයි ඉතින් නිවැරදි බුදු දහම තුලින් තමයි එය සිදුවන්නේ.  බුදු දහම ලෙසින් මෙකල ප්‍රකටව පවතින අනුකාරක දහම් තුලින් නම් මේ කියන අපූරුව අත්දැකගන්නට නොහැකි වෙනවා.  ඒ නිසාම මේ වන විට ඔබ කලකිරීමට පත්වෙලාත් ඇති.  

බුදු දහම ඔබේම මනස හඳුනාගැනීම පිණිසයි...

මේ සියලු දෑ තම තමන්ගේම නුවණින් විමසා බලමින් තම තමන්ගේම ප්‍රඥාවෙන් විසඳාගන්න ක්‍රමවේදයක් තමයි බුදු දහම තුල ක්‍රියාත්මක වෙන්නේ.  එහෙනම් බුදු දහම කුමක් පිණිසද යන්න ඔබට වැටහෙනවා ඇති.  එමෙන්ම කෙටියෙන් කිව්වොත් එසැනින් අත්දැක ප්‍රත්‍යක්ෂකර ගත හැකි ඵල ගෙන දෙන.. සියලු දෑහි සිද්ධාන්තය පෙන්වා දෙන... සියලු දෑහි හේතු ඵල දහම තමයි බුදු දහම තුලින් ලැබෙන්නේ!!!  

බුදු දහමේ ශාස්තෘවරයාණන්වහන්සේ විසින් හඳුන්ගන්නේ සම්මා සම්බුදු රජාණන්වහන්සේයි. ඒ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ නම  ගෞතම.  තථාගත, ලෝකනායක, ආදී විවිධාකාර අන්වර්ථනාමයන්ද උන්වහන්සේට තිබෙනවා. බුදු දහම කියන්නේ උන්වහන්සේගේ සොයාගැනීමක් හෝ උන්වහන්සේගේ වස්තුවක් නොවේ.  සම්මා සම්බුදුරජාණන්වහන්සේ කෙනෙක් ලෝකයට පහලවූ විට උන්වහන්සේලා විසින් සමාන්‍ය බුද්ධි මට්ටමකට සොයා දැනගත නොහැකි දහමක් අපතුල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනගන්නවා.  එය තුන් ලෝකයටම කියලා දෙනවා.  ඒ කියන දේ අහන පිරිස තුල සිටින ප්‍රඥාවන්ත පිරිසට මේ කියන පෙර නොඇසූ විරූ දහම අවබෝධ වෙනවා.  ඒ අනුව තමන් සහ තමන් මූලික වූ ලෝකය හඳුනාගෙන ලෝකයෙන් ඉවත්වෙන්නට හැකිවෙනවා.  නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටින ඔබට මේ පිළිබඳව ගැඹුරින් විග්‍රහ කරගන්නට අවස්ථාව ඕනෑ තරම් ලැබෙනවා.  

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;