මෙකල බෞද්ධයන්ගේ ගැටලුව?

  01 ජනවාරි 2012

මෙකල බෞද්ධයන්ගේ ගැටලුව? Copyright Claims

පෙරත් පැවසූ පරිදි මේ වන විට බුදු දහම සීඝ්‍රයෙන් තවත් එක් ආගමක් බවට පත්වීගෙන එනවා.  අනෙකුත් ආගම් සමඟ සන්සන්දනය කරමින් ඒ ඒ ආගම් වල තිබෙන වත් පිළිවෙත් බුදු දහම තුල නොවෙන විට ඒවාට අනුරූපව වත් පිළිවෙත් පවා සකසාගෙන ඒ ආගම් සමඟ තරඟවදින තවත් එක් ආගමක් බවට බුදු දහම පත්කරගන්නට මෙකල බෞද්ධයන් බොහෝ දක්ෂවෙමින් සිටිනවා.  මේ අයුරින් උදාවෙන මේ අවාසනාවන්ත යුගය පිළිබඳව බුදු හිමියන් පවා පවසා තිබෙනවා. 

බුදු දහමේ හරය මේ වන විට සැඟව යමින් තිබෙන නිසාම එයින් ලැබිය යුතු ප්‍රතිඵල අත්දැකගන්නට නොහැකි වත්මන් බොදුනුවන් තම තමන්ගේ ලෞකික ගැටලු විසඳාගැනීමට බුදු දහම ආගමක් ලෙසින් පාවිච්චි කරන බව මේ වන විට පැහැදිලි කරුණක් වී තිබෙනවා.  බුදු දහම තුලින් පෙන්වා දෙන තම තමන්ගේ මනස හඳුනාගැනීමේ ක්‍රියාවලිය වෙනුවට සිතට ඕනෑ දේම කරමින් මුලාවට හසුව තිබෙනවා.  

මේ බාහිර දෑ තුලින් සාමාන්‍ය සතුටක් සැනසීමක් ලැබීම සාමාන්‍ය දෙයක්.  එය ඕනෑම ආගමක් තුලින් ලැබෙන දෙයක්.  මේ සෑම විශ්වාසයකටම ආගමකටම බොහෝම ගෞරවයෙන් යුතුව කටයුතු කරන අතුරතුර ඉන් ඔබ්බට ලැබිය හැකි ගැඹුරු අරුත වටහාගැනීමට බුද්ධිමත්ව කටයුතු කරගත යුතුව තිබෙනවා.  තාවකාලික පැලැස්තර අලවමින් සුවයක් ලබන ක්‍රමයක් වෙනුවට ලැබිය හැකි ස්ථිර විසඳුම ලබාගැනීමට නුවණ විහිදුවන්නට ඕනෑ කරනවා.  

මේ වන විට බුදු දහම තම තමන්ගේ ලෞකික ලාභ ප්‍රයෝජනයට මෙන්ම කීර්තියට ප්‍රශංසාවට ලක්වීම පිණිස යොදාගන්නා වත්මන් බෞද්ධයින් ඒ ඒ කිලිටි සිත් තුලින්ම ලබන සැනසීමක් සුවයක් මිස ඉන් ඔබ්බට ගියාවූ නිවැරදි සැබෑම සතුට සැනසීම සාමය අත්දැකගන්නට නොහැකිව සිටිනවා.  

ඒ නිසාම ඔබ බුද්ධිමත් විය යුතුයි.  මෙකල බහුල වත්මන් බෞද්ධ පිරිස දෙස බලා නම් සැබෑ බෞද්ධයා ගැන නිගමනයන්ට පත් නොවිය යුතුයි.  මෙකල වත්මන් නාමික බෞද්ධ යැයි පිරිස පත්ව සිටින අසහනකාරී කලහකාරී ස්වභාවය දුටු විට බුදු දහම පවා එපා වන තරමටම කරුණ බලවත් වී තිබෙනවා.  ඉතින් බුද්ධිමත් වන්න. සැබෑ බොදුනුවන් අති දුර්ලභයි.  ඔබට බහුලව දක්නට ලැබෙන්නේ බුදු දහම නැමැති ආගමක් සකසා ගත්තාවූ ඒ තම තමන්ට පහසු වන පරිදි ඒ ආගම තුල හැසිරෙන්නාවූ බෞද්ධයන් යැයි පවසා ගන්නා පිරිසක් පමණයි.  

ඒ නිසා ඔබත් අප්‍රමාදීව එයින් කෙනෙක්දැයි විමසා දැනගන්න.  ඒ වගේම සැබෑ බුදු දහම කුමක්දැයි ගවේෂණය පිණිස ආගම් ජාති තත්ව තානාන්තර කුලමල භේදයක් නැතිව ප්‍රඥාවන්තව කටයුුතු කරගන්න.  මේ වෙබ් අඩවිය තුලින් ඔබට ලැබිය යුතු මූලික පසුතලය ලබා දීමට කල හැකි සෑම දෙයක්ම සිදුකරනවා.  

තමන්ව ගවේෂණය කරන පෙර නොඇසූවිරූ දහමකින් යුතු අපූරු දහමක් වන බුදු දහමේ සැබෑ හරය අත්දැකගන්නට එකතුවන්න.  අන්න එවන් පුද්ගලයා සැබෑ බොදුනුවන් අතරට එකතු වනවා නොඅනුමානයි!

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;