අවීචිය නරකය

අවීචිය නරකය

අටමහා නරකයන්හි අටවැනියට විග‍්‍රහ වන ”අවීචිය” නම් නරකය පිළිබඳවත් ඒ දුක් නිරෝධය පිණිස ධර්ම කොටසක් විග‍්‍රහ කර ගැනීමටත් මෙම කොටස තුලින් බලාපොරොත්තු වන අතර සියලූ සසර දුක් අප‍්‍රමාදීව කෙලවර කරගැනීම පිණිස මෙම ධර්ම කොටසත් සුපුරුදුපරිදි උපකාර කරගැනීමට උත්සාහ දැරීම ඉතාමත් වැදගත් වේ.

"අවීචිය” කියන නම ඇසෙන විටත් මහා භයංකාර බවක් දැනෙනවා නේද? ඉතින් අසා තියෙනවා වගේම මේ නරකය නම් සෙල්ලම් නරකයක් නෙවේ. පංච ආනන්තරීය පාපකර්මයන් සිදුකරන පිරිස තමයි මේ අටමහා නිරයේ ගොස් දුක් විඳින්නේ. මේ අටමහා නරකයේ සිතිවිල්ලකට හුස්ම පොදකට තරම්වත් විවේකයක් නෑ කියලා තමයි කියන්නේ... මහා ගිනි විතරමයි තියෙන්නේ. ගින්දර යම් තරමකටද ගිනි ගන්නා පුද්ගලයාද ඒ තරමටම ගිනියම් වෙලා තමයි ඉන්නේ. ගිනි සිළු අතර සැඟවිලා ගින්නෙන් වෙන් කරලා හඳුනාගන්න බැරිතරමටම දැවෙනවා. මේ ආකාරයට කල්ප ගණනක් දැවෙන්නට සිද්ධ වෙනවා. දන් පින් දීලා බේරාගන්නට පුළුවන් මට්ටමක් මේ අපායට ගියහොත් නම් ලැබෙන්නේ නෑ. පිච්චුනාය කියලා මැරෙන්නේ නැතිවම කල්ප කාලාන්තරයක් පිච්චී පිච්චී එක දිඟටම පවතින්නට සිද්ධ වෙනවා.

මෙම නරකයේ ගින්දර වලින් වැසී ඇති ආකාරය මෙසේද විස්තර වෙනවා. එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කර පොලවින් නැගෙන ගින්න උඩ පියන්පත දක්වා නැගෙයි. උඩ පියනින් නික්මෙන ගිනි ජාලාව පොළව දක්වා ගමන් කරයි. දිශා 06න් නිරන්තරයෙන් නැගෙන ගින්නෙන් සත්ත්වයින් මෙම නරකයේ නිරන්තරයෙන් පිලිස්සෙනවා. ඉතින් හිතන්න කල්ප කාලාන්තරයක් ගින්නකින් දැවි දැවී ලෝහ පෙට්ටියක් ඇතුලත සිටින්නට වුණොත්? මරණය ඕනෑ වුණත් මරණයට පත්නොවී මේ ආකාරයට දැවෙන්නට වුවහොත්? සිතාගන්නවත් පුළුවන්ද මේ දුක ගැන? අපහසුයි නේද? එතරම්ම භයානකයි. ඒ වගේම දුක වැඩිපුර දැනීම පිණිස ශරීරයන්ද විශාලව සකස් වී ඇති බව තමයි පෙන්වා දී තිබෙන්නේ. උදාහරණයකට අවීචි නරකයේ දුක් විදින්නාවු අප කව්රුත් අසා තිබෙන දේවදත්ත හාමුදුරුවන්ගේ ශරිරය යොදුන් සියයක් විශාල ශරිරයක් බව දක්වා තිබෙනවා.

ඉතින් මෙච්චර දුක් විඳින්නට සිද්ධ වෙන පංච ආනන්තරීය පාපකර්මයන් මොනවාදැයි ඔබ දන්නවාද?

  1. මව මැරීම
  2. පියා මැරීම
  3. බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම
  4. අරිහතුන්වහන්සේලා මැරීම
  5. සංඝයා භේද කරවීම

මේ තියෙන්නේ කරන්න පුළුවන් පහත්ම භයානකම පාප කර්මයන් 5යි.

ලෝකය කෙරෙහි හරි හැටි අවබෝධයක් නැති නිසාම සාරවත් වූ අදහසින් ලෝකය දකින්නාවූ සත්වයාගේ මානසිකත්වය කෙලෙසෙන්නට පුළුවන් උපරිම මට්ටමක් ගැන තමයි මේ පංච ආනන්තරීය පාප කර්මයන් තුලින් පෙන්වා දෙන්නේ. බොහෝ දෙනෙකුට මේවා අනෙකුත් පාප කර්මයන්ට වඩා විශේෂ වන්නේ ඇයිදැයි වඩාත් පැහැදිලි නෑ. අන්න ඒ නිසා මේ ලිපිය තුලදී විශේෂයෙන්ම ඒ කරුණ පෙන්වා දීමට උපමා අනුසාරයෙන් සටහන් තබනවා. තම තම නැණ පමණින් තෝරාගැනීම ඉතාමත් වැදගත් වෙනවාx

උපමාවක් ලෙස මෙහෙම හිතන්න... තුවක්කුවකට පතරොම් දානවා... පතරොම් කීපයක් පුස් ඒවා ... එයින් එකක් දෙකක් තියෙනවා ඇත්ත ඒවා... ඒත් බැලූ බැල්මට මේ පතරොම් ඔක්කෝම එක වගේ... මේ තුවක්කුවෙන් වෙඩි තියනවා... එකින් එක වෙඩි තියෙනවා... පුස් නොවන වෙඩිල්ල තමයි මරණයක් ගෙන දෙන්නේ... අනෙක් පුස් පතරොම් මරණයක් ගෙන දෙන්න හේතු වෙන්නේ නෑ... එය පැහැදිලියි නේද? අන්න ඒ වගේ යමෙක් ප‍්‍රාණඝාතයක් කරන අවස්ථාවක් ඔන්න ඔය උපමාවට සංසන්දනය කලොත්× තුවක්කුව සිත වගේ... පතරොම් තමයි මරණ චේතනාව... පුස් වෙඩි බෙහෙත් වගේ තමයි සාමාන්‍ය කෙනෙක් මැරීම... පුස් නොවන වෙඩි බෙහෙත් වගේ තමයි ගුණ මහත්වයෙන් වැඩි කෙනා මැරීම... බැලූ බැල්මට මරණ චේතනාව එක වගේ පෙනුනත් ඒ වෙනුවෙන් යොදන ශක්තිය එක සමාන නෑ...

තමන් වීතරාගී වීතද්වේශී වීතමෝහී තත්වයට පත්වූ තරමින් තම තමන් විසින් ඉතාමත් ප‍්‍රබල ශක්තියක් ගොඩනගනවා... ඒ වගේමයි වීතරාගී වීතද්වේශී වීතමෝහී තත්වයට පත්වීම පිණිස අවංකවම පාරමිතා පුරන්නාවූ බෝධිසත්වයානන්වහන්සේලා තුලත් (මනුස්සයෙක් වුණත් තිරිසන් ගත සත්වයෙක් වුණත්* ප‍්‍රබල ශක්තියක් ගොඩනැගෙනවා... මෙන්න මේ ගොඩනැගෙන ප‍්‍රබල ශක්තිය සමඟ සටනට යොදන්න වෙන්නෙත් ප‍්‍රබල ශක්තියක්මයි... එය නොදැන එව්වත් දැනගෙන එව්වත් පුස් නොවෙන වෙඩි බෙහෙත් දාපු පතරොමක් නොදැනුවත්ව භාවිතා කලා වගේ තමයි... දැනගෙන හෝ නොදැනගෙන පත්තු කලාය කියලා නෑ වෙඩිල්ල වැදුනොත් මරණය නියතයි!

සාමාන්‍ය ශක්තියක් ගොඩනගන කෙනෙකු මරණයට පත්කරන්නට යොදන්න වෙන චිත්ත ශක්තියට වඩා මරණය ඉක්මවූ උත්තමයෙක් මරණයට පත්කරන්නට යොදන්නට සිද්ධ වෙන චිත්ත ශක්තිය වැඩියි... එය දැන දැන කරන දෙයක් නොවුනත් ශක්තිය පිටවෙන්නේ ඒ ආකාරයෙන් තමයි... දැන දැන කලොත් එය නිසැකවම වැඩි විපාක දෙන්නට හේතු වෙන්නේ එතකොට තවත් වැඩියෙන් ශක්තිය පිටකරන නිසයි...

බුදු කෙනෙකු මරණයට පත් කරන්නට තරම් ජගතෙක් මේ තුන් ලෝකය තුලවත් නෑ. කරන්න පුළුවන් උපරිමය තමයි බුදු කෙනෙකුගේ ලේ සෙලවීම කියන කාරණය. එයත් කරන්නට පුළුවන් සාමාන්‍ය තත්වයේ සිටින ඕනෑම කෙනෙකුට නෙවේ. සසර ගනුදෙනු සහිතව ඒ කරුණ ඔස්සේ එවැනි යහපත් ශක්තියකට සටනක් දෙන්නට හැකි අප‍්‍රමාණ අයහපත් ශක්තියක් ගොඩනැගූ කෙනෙකුට තමයි එය කරන්නට හැකියාවක් තියෙන්නේ. දේවදත්ත හිමියන් එසේ අත්බැව් ගණනාවක්ම ඒ ශක්තිය සකස් කරමින් පැමිණියා. ඒ නිසාම ඒ ආනන්තරීය පාප කර්මය කරන්නට අවශ්‍ය කරන පරිසරය සකස් වුණා. ඉතින් අරිහතුන්වහන්සේ කෙනෙක් මරණයට පත්කිරීමත් සාමාන්‍ය පාපකර්මයක් ඉක්මවා ගිය අධික ශක්තියක් සහිත ආනන්තරීය පාප කර්මයක් වන්නේ ඒ වෙනුවෙන් යොදන්නට තිබෙන ශක්තිය වැඩි නිසාමයි. ඉතින් මේවායේදී විපාකත් ඒ හා සමානව ලබන්නට සිද්ධ වෙනවා.

මව සහ පියා යනු මරණය නොඉක්මවූ අය වුණත් අපට මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන මනුස්ස කයක් ලබාගෙන ඉපදීමට සුදුසු පරිසරය දෙන්නට කල උපකාරයම තමයි ඒ දෙදෙනාව අනෙක් ජීවින්ගෙන් උසස් කොට දක්වන්නට හේතු වුනේ. කවලා පොවල හදන එකට වඩා ඒ දෙදෙනා එකතුව අපව මේ ලෝකයට බිහිකරන්නට අවශ්‍ය කරන පරිසරය සකස්කර දීම තුල තමයි ආනන්තරීය පාපකර්මයක් වන ආකාරයට ශක්තියක් සකස් වෙන්නේ. හැ¥ දෙමව්පියන් කව්රු වුණත්, නොදැන හෝ වේවා වැ¥ මව හෝ පියා මරන්නට යෙදුනොත් ආනන්තරීය පාපකර්මයක් ක‍්‍රියාත්මක වනවා. ඉතින් තෝරාගත යුතු වන්නේ චේතනාවේ ගැබ්වන බලය ශක්තිය දැන හෝ නොදැන වුවත් ප‍්‍රබලයි කියන්නාවූ කාරණයයි.

මේ ආකාරයට බාහිර පුද්ගලයාගේ ගුණමහත්වය වැඩිවීම හේතුවෙන් විපාකයද ඒ අනුරූප වීම තේරුම් ගැනීම පිණිස පූජනීය වල්පොල ගෝතම හිමියන් විසින් දේශනාවක ඉතාමත් වටිනා උපමාවක් භාවිතා කලා... එය ඉතාමත් ගැලපෙන සහ අපට බොහෝම සමීප උපමාවක් නිසාම මා එයම භාවිතා කරමින් මේ කරුණ පහදා දෙන්නම්.

ඔබ පිඟන් කඩනවා යැයි හිතන්න... ගෙදර පිඟානක් කැඩුවොත් ඔබට ගැටලූවක් තියෙනවාද? පොඞ්ඩක් ඕනේනම් අම්මගෙන් හෝ වැඩිහිටියෙක්ගෙන් බැනුම් අහයි... ඒත් ලැබෙන ප‍්‍රතිඵලය අඩුයි. දැන් හිතන්නට තරුපහේ හෝටලයකට ගිහින් පිඟානක් කැඩුවොත් මොකද වෙන්නේ? කැඩුවේ පිඟන්ම නම් තමයි ඒත් ඒ පිඟානට ගෙවන්න වෙන ගාණ නම් තරු පේනවා නේද? සමහරවිට ගෙවන්න සල්ලි තිබ්බේ නැතිනම් ඉතිරි පිඟන් හෝදලත් එන්න වෙයි. එහෙම නේද? දැන් මේ තරුපහේ හෝටලේ ගණං පිඟාන තමයි ගුණමහත්වයෙන් වැඩි තත්වය. ගෙදර අඩු ගාණක පිඟාන වගේ තමයි ගුණ මහත්වයෙන් අඩු තත්වය. ප‍්‍රතිඵල දෙකක් විපාක විදියට ලැබුනේ කොහොමද කියලා එයට ගලපා ගන්න පුළුවන් නේද? මේකම ගෙදර වුණත් එච්චරයි.. ගාණ අඩු පිඟානක් කැඩුවාට වැඩිය ගාණ වැඩි පිඟාන කැඩුවාම වැඩියෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා... එහෙම නේද?

දැන් ඒ උපමාවෙත් ඉහත අපි කියපු පතරොම් වලට සම්බන්ධ කල ශක්ති ගොඩනැගීම තියෙනවාදැයි හිතලා බලන්න... පිඟානක් කඩන්න ඕන කියලා හිතුනා කියමුකෝ... ගණං අඩු පිඟාන කඩන්න යොදන චිත්ත ශක්තියට වඩා ප‍්‍රබල චිත්ත ශක්තියක් යොදන්න ඕන නේද ගණං වැඩි පිඟාන කඩන්න? ගාණ ගැන අදහසක් නැතිව වුණත් සමහර වෙලාවට පිඟානක් කඩන්න ඕන කියලා අතට අහුවෙන පිඟාන කැඩුවාය කියලා අපිට දැනුනත් ගාණ වැඩි පිඟාන කඩන්න අපට නොදැනීම ශක්තිය වැඩිපුර පිටකරන්නම සිද්ධ වෙනවා. මොකද ගාණ වැඩියි කියන්නේ එහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරලා තමයි හදලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම එය කඩාදමන්නට දැන හෝ නොදැන වැඩි ශක්තියක් යෙදවීමට සිද්ධ වෙනවා.

අපි ගුණ මහත්වයෙන් වැඩෙන විට අප විසින් ගොඩනඟමින් බාහිරයට විහිදුවන ශක්තියත් ඒ හා සමානව වැඩිවෙනවා... ඒ වගේමයි පහත් පැත්තට කරන කියන සිතන දේ අනුවත් පහත්වූ ශක්තිය ඒ ඒ මට්ටමෙන් සකස් වී බාහිරයට විහිදෙනවා... තවත් උපමාවකින් තෝරාගැනීම පිණිස සිහිපත් කරගන්න, ගුණ මහත්වයෙන් වැඩි කෙනෙක් විහිදුවන ශක්ති මට්ටම ඉහළයි ප‍්‍රබලයි. අපි එය සූර්යයාට උපමා කරමු. සාමාන්‍ය කෙනෙක් ඉන්නවා එයාගෙන් විහිදෙන ශක්ති මට්ටම දුබලයි. අපි එය පහන් එළියකට උපමා කරමු...

පෙට්ටි 2ක් අරගෙන සිදුරක් විදිනවා... එකකට දානවා සූර්යයාව දාලා වහනවා... අනෙකට දානවා දල්වා ඇති පහන... අර සිදුරෙන් වැඩියෙන් එළියක් ශක්තියක් එලියට විහිදෙන්නෙ කොයි පෙට්ටියෙන්ද? සූර්යයා ඉන්න එකෙන් නේද? ඇයි? සූර්යයාට විහිදුවන්නට ඕනෑවටත් වඩා ප‍්‍රබල ශක්තියක් තියෙන නිසාම සිදුර ඉතාමත් කුඩා වුවත් බාහිරයට විහිදෙන ආලෝක ප‍්‍රමාණය වැඩියි. එතකොට ඔය පෙට්ටි දෙක ඉස්සරහා ඉදගෙන අර සිදුරු දෙක අතින් වහන්න උත්සාහ කරන කෙනෙකුට සූර්යයා සහිත පෙට්ටියේ සිදුර වහන්නට වැඩි ශක්තියක් නිරායාසයෙන්ම යොදවන්න වෙනවා නේද? කලේ එකම දේ... ඒත් තමන්ටත් නොදැනීම වැඩි ශක්තියක් වැඩි ප‍්‍රබලතාවයක් සහිත තත්වය මැඩපැවැත්වීමට යොදවන්න වෙනවා... දැන හෝ නොදැන යෙදෙවෙනවා...

ඒ වගේම දැන් අපි අතපය හොලවන එකම හිතලා බලන්නකෝ... ඒවා ක‍්‍රියාත්මක වෙන්නට ඔබේ හිත මුල් වෙනවා කියලා මොහොතකටවත් දැනෙනවද? පුරුද්දට වගේ දැනෙන්නේම ඒවා ඉබේ වැඩ කරනවා වගේනේ නේද? අන්න ඒ වගේ තමයි බැලූ බැල්මට යම් පාපයක් හෝ පිනක් කරනවිට දැනෙන්නේ තම තම නැණ පමණින් ගෝචර කරගන්නට පුළුවන් මට්ටමෙන් පමනයි. මේ පිටකරන ශක්ති මට්ටම නියමාකාරයෙන් කියන්න පුළුවන් බුදු හිමියන්ටම තමයි.

උපමා අනුසාරයෙන් එය එසේ සිදුවනවා කියලා වටහාගන්නට ප‍්‍රඥාවන්ත වූ ඔබට හැකියි. ඉතින් තවත් උපමාවකින් කියනවා නම් උදේට අප ඇහැරෙන්න සීනු නාදයක් ඔරලෝසුවේ (එළාම්* සකසා තියෙනවානේ... නැගිටින්න කම්මැලිකමට ඒක නිදිමතේම අතගාලා වහලා දානවා නේද? බොහෝම අපහසුයි නේද නැඟිට ගන්න? ඉතින් හිතන්න ඔය ඔරලෝසුව අතගාන අවස්ථාවේ සර්පයෙක් එහෙම අතට අහුවුනොත්? නිදිමත අතුරුදහන් වෙලා නැගිට වෙනවා නේද? මේ චිත්ත ශක්තිය දැනුනද? ප‍්‍රමාණයක් දැනගෙන හොඳින් හිතල නෙවේ නේද ඒ චිත්ත ශක්තිය යෙදවීමට කටයුතු කලේ? ඒත් අවස්ථානුකූලවම අවශ්‍ය කරන චිත්ත ශක්තිය ප‍්‍රබලව සකස් වෙනවා.

සංඝ භේදය කියන්නේ බුදු හිමියන් විසින් පෙන්වා දුන්නාවු ධර්මය, විනය වසා අධර්මයක් ධර්මයක් ලෙසින් ප‍්‍රකට කොට අවිනයක් විනයක් ලෙසින් ප‍්‍රකට කොට කටයුතු කරමින් විනය කර්මයක් සිදුකරන අවස්ථාවටම පත්වීමයි. මේ ආනන්තරීය පාප කර්මයත් දේවදත්ත හිමියන් විසින් සිදුකල බව ඔබ අසා ඇති. ඉතින් නැවතත් බුදු වදන බොරු කරන්නට එය බොරුවක් ලෙසින් ඔප්පු කර මිත්‍යා මත යොදන්නටත් ඒ අනුව පිරිසක් වෙන් කරවාගෙන ඒවා අනුගමනය කරන තත්වයට පත්කරගැනීමටත් මහා චිත්ත ශක්තියක් යෙදිය යුතුම වෙනවා.

ඉතින් සෝතාපන්න ඵලය ලබන විට අවිද්‍යාව ඇතිතාක් ගොඩනැගෙන "ලෝකය" මුල්වරට දකිනවා. තමන්ගේ සිත හොඳින් අවබෝධකරගන්නට හැකිවෙනවා. අන්න ඒ නිසාම සෝතාපන්න පුද්ගලයා පංච ආනන්තරීය පාප කර්මයන්ගෙන් වැළකෙනවා. එයාට ඒ පරිසරයවත් සකස් වෙලා ලැබෙන්නේ නෑ. ඇයි? ඒ මට්ටමෙන් ශක්තියක් ගොඩනැගෙන්නේම නැති නිසා. අවබෝධය තුලින්ම ඒ තරම් ශක්තියක් ගොඩනගන සිත් ඒ පුද්ගලයාට පහල නොවෙනම නිසා. ඒ මට්ටමෙන් ඒ ආකාරයේ සිත් ඇතිකරවන "ලෝකය" නිරෝධ වෙලා නිසා සෝතාපන්න පුද්ගලයාට මේ කියන පංච ආනන්තරීය පාප කර්මයන් සිදුවන්නේ නෑ.

ඉතින් අවිද්‍යාව හෙවත් "ලෝකය" පිළිබඳව හරි හැටි අවබෝධයක් නොමැතිකම... යථාර්ථය පිළිබඳව නොදැනුවත්කම... ඔබට කොතරම් විනාශයක් ගෙන දෙන්නට හැකිදැයි නුවණින් තෝරාගත යුතුමයි. සැනසීමෙන් සතුටෙන් ලෝකයේ රජයන්ට හැකි තත්වයක් නොමැති බව නුවණින් දකින තරමින් මේ මහා පාපකර්මයන් සිදුවන පසුතලය නැත්තටම නැති කරගන්නට අවශ්‍ය කරන සැබෑ පසුතලය සකසා දීමට ඔබට හැකියාවක් ලැබේවි.

රාග ගින්නෙන් තොර ද්වේශ ගින්නෙන් තොර මෝහ ගින්නෙන් තොර අවස්ථාවකට විරුද්ධව කටයුතු කරන්නට යෙදිය යුතු රාග ගින්නේ තරමටම ද්වේශ ගින්නේ තරමටම මෝහ ගින්නේ තරමටම ඔබට අවීචියේ දැවෙන්නට සිද්ධ වෙනවා... ඒ ගින්න ඇතිවුනේ ඔබ ගොඩ නැගූ හේතුවේ ශක්තියෙන්මයි... ඒ ගින්නේ කල්ප කාලාන්තරයක් දැවෙන්නට සිද්ධ වෙන්නේ ඔබ විහින්ම සකසා දුන්නාවූ මේ ශක්තියෙන්මයි...

ඉතින් මේ අවීචියෙන් මිදෙන්නට අවශ්‍ය නම්... මේ ගින්නෙන් සඳහටම මිදෙන්නට අවශ්‍ය නම් එහි නිරෝධ මාර්ගය අන් කවරක්වත් නොව සෝතාපන්න වීමමයි. ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පත්වීමමයි. අන්න ඒ නිසා මේ අතිභයංකාර අටමහා නරකයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය කරන මානසික පසුතලය ලැබගැනීමට කළ්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය, සත්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්මපටිපදාව කියන්නාවූ සෝතාපන්න අංගයන් තමන් වෙත ලබාදීමට අප‍්‍රමාදීව කටයුතු සම්පාදනය කරගැනීම සුදුසුයි`!!! නොපෙනෙන අනතුර එසේ මෙසේ එකක් නොවන බව දැකගෙන අප‍්‍රමාදීව නිවන් මාර්ගය පාදා ගැනීමට ප‍්‍රඥාවන්තවන්ත වන්න!!!

ඒ අප‍්‍රමාදීත්වය ලැබීම පිණිස මෙම ලිපි පෙල අංශු මාත‍්‍ර වශයෙන් හෝ ඔබට උපකාරයක්ම වෙත්වා... ඔබ සැමටම තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබ අප‍්‍රමාදීව නිවී සැනසීමම වෙත්වායි නිති පතමි!!!