"කාලසූත්ර" යන්නෙහි වචනාර්ථය ලෙසින් බොහෝ ධර්ම පොත පත තුල දක්නට ලැබෙන්නේ "කළුනූල" ලෙසටයි. ඒ අතරම තමන්ට රිසි දෑ ලැබීමට පහත් අයුරින් සූත්තර දමමින් කපටිකම් කරමින් සිත, කය, වචනය මෙහෙයවන්නට යෙදුනාවූ සත්වයන් සිටින්නාවූ ස්ථානය ලෙසිනුත් මෙම වචනයට තවත් ගැඹුරින් අර්ථ දිය හැකි බව දක්වා තිබෙන අවස්ථාවන් සමහර ග‍්‍රන්ථ වල මම දැක තිබෙනවා.
මේ නිරයේ උපදින්නට සිද්ධ වුණොත් විශාල ශරීර ලබලා උපදින්නට සිද්ධ වෙනවා... ඊටපස්සේ ලී කොටයක් ලැබුන වඩුවන් මෙන් යමපල්ලෝ කරන්නේ ඔබව ගිනියම් වු යපොලවෙහි පෙරලාගෙන කියත්වලින්, වෑ පොරෝ ආදියෙන් කීතු කීතු වලට කපනවා. ඉන්පසුව දැලි නිසා කළු වූ දැලි ගෑවුනු නූල් ගෙන නොයෙක් නොයෙක් ආකාරයෙන් සතරැස්ව, රවුමට හෝ අටපට්ටන් ආකාරයෙන් ඔබගේ ශරීරය නැවත නැවත නූල් ඇද මසා දමනවා වගේ දැනේවි... නැවතත් ඒ මැසූ ශරීරය කියත්, වෑ පොරෝ ආදියෙන් කීතු කීතු වලට කපනවා මෙන් දැනේවි. නැවතත් කැපූ ශරීර මසාවි... නැවතත් කපාවි... විපාකයේ තරම නිසාම මේ අනන්ත දුක නැවත නැවතත් විඳිමින් කල්ප ගාණක් ගත කරන්නට සිද්ධ වේවි. මෙන්න මෙවැනි අධික දුකක් ඔබට මෙම "කාලසූත‍්‍ර" නම් නිරයේදී හිමිවෙනවා. පෙර ලිපියේ විස්තර කරගන්නට යෙදුනා වූ "සංජීව / සඤ්ජීව" අපා දුකට සාපේක්ෂව වැඩි දුක් ප‍්‍රමාණයක් මෙම නිරයේදී ඔබට අත්දැකගන්නට සිද්ධ වෙනවා.
ඉතින් පොත පත කියෙව්වොත් තව තවත් මෙම අපා දුක් සම්බන්ධයෙන් දත්තයන් ඇසුරු කරන්නට ඔබට අනිවාර්යෙන්ම හැකිවේවි. ඒ නිසා වැදගත් වෙන්නේ මෙම අනන්ත වූ දුකට හේතුව සොයා බලා ඒ දුක නිරෝධ කරගත හැකි ක‍්‍රමය පැහැදිලි කරගැනීමයි.
ඉතින් ඇයි මේ තමන්ගේ පැවැත්ම පිණිස, තමන්ට සම්පත් ලැබීම පිණිස, සුවසේ සිටීම පිණිස මෙවැනි ආකාරයට සිත, කය, වචනය මෙහෙයවන්නට යමෙකුට සිත් පහල වෙන්නේ? විමසා බැලිය යුතුයි. මේ කුමන දෙයක් කරන්නෙත් තම තමන්ගේ මනස හඳුනානොගන්නාතාක්ය කියලා කිව්වොත් නිවැරදියි. හොඳ වුණත් නරක වුණත් ආගමක් ඇදහුවත් නැතත් කුමන ආකාරයේ තත්ව තානාන්තරයක් දැරුවත් ඔබ ඔබගේ මනස හඳුනන්නේ නැතිනම් ඔබ තවමත් ගැටලූ රාශියකට ප‍්‍රශ්ණ රාශියකට අවුල් ජාලයකට පත්වීමට නියමිතයි. තවත් ආකාරයකට කියනවා නම් ඔබ ඔබගේ මනස හඳුනා නොගන්නා තාක් ඔබ ලෝකය නිසි ආකාරයෙන් තෝරාගන්නේ නෑ. ලෝකය නිසි ආකාරයෙන් තෝරාගත්තේ නැතිනම් ඔබට මේ අපා දුක් වලින් තබා කිසිදු ආකාරයක දුකකින් මිදීමට නොහැකි වෙනවා.
ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන්නාවූ "මම" කියන කොටසත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නාවූ "මගේ" කියන්නාවූ කොටසත් එකතුවූ කල එක් එක් සත්වයාට හිමි ලෝකය පහල වෙනවා. මෙන්න මේ ලෝකය සාරවත්ය, හොඳය, සැපය, පවතින්නට සුදුසුය කියලා ගන්නාවූ නිගමනය තුල තමයි හැම සත්වයෙක්ම සිත, කය, වචනය මෙහෙයවන්නේ. ඒ ඒ මැනගැනීම කල මට්ටම අනුව තමයි පව් කරනවාද, පින්කරනවාද, යහපත් දෑ අයහපත් දෑ කරනවාද ඒ සියල්ලෙන්ම නිදහස් වෙලා නිවීමේ මාර්ගයට පත්වෙලාද යන්න තීරණය වෙන්නේ.
අනුන් පෙලන්නට තමන් රැුකෙන්නට තමන්ගේ යැයි මැනගත්තාවූ ලෝකය රැුකගන්නට... පවත්වා ගන්නට යමෙක් කපටිකම් කරනවා නම් සූත්තර දානවා නම් උපාය යොදනවා නම් ඒ පුද්ගලයා ලෝකය මැනගෙන තියෙන්නේ මහා වටිනාකමක් දීලයි... "මම සහ මගේ" කියන්නාවූ කොටසට මහා වටිනාකම් දෙන්නට දෙන්නට තමයි ඒ වටිනා දෑ රැකගන්නට අප උත්සාහ කරන්නේ එහෙම නේද? ඉතින් එහෙනම් කාලසූත‍්‍ර නිරයෙන් මිදෙන්නට අවශ්‍ය නම් යමෙක් අනිවාර්යෙන්ම මෙවැනි කපටිකම්, සූත්තර දැමීම්, උපාය යෙදීම් නතර කරන්නට සිද්ධ වෙනවා. ඒත් තමන්ට යමක් රැකගන්නට තිබෙන තාක්, වටිනාවා යැයි හැඟන "මම" සහ ”මගේ” දේවලින් යුක්ත ලෝකයක් තිබෙන තාක් එවැනි දේ නතර කරන්නට කෙනෙකුට සිත් පහල වෙන්නේ නෑ... කොතරම් අපාදුක් කිව්වත්... කොතරම් භයංකාර බව කිව්වත් ලෝකයට දී ඇති වටිනාකම සාරවත්බව වැඩිනම් යමෙක් තුල ඒ ඒ දුක් කන්දරාවන් උරුම කරගෙන සිටිනවා මිසක් ඒ දුක් කෙරෙහි සැබෑ බියක් දැනෙන්නේ නෑ. මිදිය යුතු බවක් හැෙඟන්නේ නෑ!
ඉතාමත් සරලව කෙටියෙන් උදාහරණයක් කියනවා නම් මෙන්න මෙහෙම හිතන්නකෝ... ඔබ උදෑසන අවදිවූ අවස්ථාවේ පටන්ගෙන රාත‍්‍රියේ නින්දට යන තුරු ඔබගේ ඇස, කණ, දිව, නාසය, කය වෙනුවෙන් කොතරම් වෙහෙසක් දරනවාදැයි සිහිපත් කරගන්න. කොතරම් වෙහෙස වෙලා පිරිසිදුව තබාගන්නට උත්සාහ කලත් අඛණ්ඩව ඒ පිරිසිදුබව තබාගන්නට ඔබට හැකිද? කොතරම් වෙහෙස වෙලා ලෙඩක් දුකක් නැතිව රැකගන්නට හැදුවත් නිරෝගීව ඒවා රැකගන්නට ඔබට හැකිද? කොතරම් වෙහෙස වෙලා ඒවා වෙනස් නොවී ඔබට රිසි ආකාරයෙන් පවත්වාගන්නට උත්සාහ කලත් ඒ ලෙසින් තබාගන්නට ඔබට හැකිද? ජීවිත කාලය පුරාවටම ඔබ කරන්නේ මේ වෙහෙසකර වැඩපිලිවෙල නෙවේද? ඔබට පෙර මියගිය ඔබගේ දෙමව්පියන්... දෙමව්පියන්ගේ දෙමව්පියන්... ආදී මියගියවුන් කලේද මේ ටිකම නෙවේද? ඔබ උදෑසන පටන්ගෙන වහලෙක් වගේ සේවය කරන ඔබගේ ඇසට, කණට, දිවට, නාසයට, කයට ඔබ නිකමට වගේ මෙන්න මේ වගේ අණකිරීමක් කරලා බලන්න "ඔන්න මම මෙච්චර සලකනවා ඔහේට අද නම් අපිරිසිදු වුනොත් බලාගෙනයි... අද නම් ලෙඩක් හදාගත්තොත් බලාගෙනයි... අද නම් මට වේදනාවක් දුන්නොත් බලාගෙනයි... අද නම් බඩගිනිවුනොත් බලාගෙනයි... අද නම් වැසිකිලි යන්න ඕනෑය කිව්වොත් බලාගෙනයි... අද නම් නිදිමත හදාගත්තොත් බලාගෙනයි... අද නම් වෙහසක් තෙහෙට්ටුවක් දැනගන්නට සැලැස්සුවොත් බලාගනයි..." මෙන්න මේ වගේ අණකිරීමක් කරලා බලන්න ඔබ කියන දේ අසාවිද කියලා...
මේ උදේ පටන්ගෙන රාත‍්‍රිය වනතුරු වහල් සේවයේ නිරත වෙන්නේ මේ හිතුවක්කාරයෙකුටනේ කියන දේ පොඞ්ඩවක්වත් අහන්නේ නැති අයෙකුටනේ කියලා දිනය අවසානයේ ඔබටම තීරණය ලැබේවි... එවැනි අයෙකු වෙනුවෙන් තමයි ඔබ "සංජීව, කාලසූත‍්‍ර, සංඝාත, රෞරවය, මහා රෞරවය, තාපය, ප‍්‍රතාපය සහ අවීචිය" වැනි අටමහා නරකයන්ට යන්නට කටයුතු සිද්ධ කරගන්නේ? ඉතින් බුද්ධිමත් මනුස්සයෙක් නම් එවැනි තත්වයකට පත්වීම සුදුසුද? "මම" ලෙසින් "මගේ" ලෙසින් ඉතාමත් වටිනාකම් දී සාරවත්බවක්, යහපත්බවක් ලබාදී ඒවා රැකගන්නට අසීමිතව වෙහෙස වන ඔබ විසින් බුද්ධිමත් විය යුතුයි.
ඔබ තවමත් නොදුටු ලෝකයේ සැබෑ තතු දැකගැනීමට කළ්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය, සත්ධර්මය ශ‍්‍රවණය, යෝනිසෝමනසිකාරය සහ ධර්මානුධර්මපටිපත්තිය කියන්නාවූ කරුණු හතර නොඅඩුව ඔබ විසින් ඔබටම ලබාදිය යුතු වෙනවා. අන්න එවිට ලෝකයේ සැබෑ තතු නුවණින් දැකගන්නට දැනගන්නට ඒ මායාකාර පීඩාකාර ලෝකයෙන් මිදෙන්නට ඔබට අවස්ථාවක් උදාවෙනවා. එවිට තමයි "කාලසූත‍්‍ර" නම් අපා ලෝකයෙන් මිදෙන්නටත් ඔබට අවස්ථාව උදාවෙන්නේ. බුද්ධිමත්ව අප‍්‍රමාදීව කටයුතු කරගන්නට තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි මෙත් සිතින් නිති පතමි!!!
පෙර පිටුවට
සංජීව නරකය
මීළඟ පිටුවට
සංඝාත නරකය
පෙර පිටුවට
සංජීව නරකය
මීළඟ පිටුවට
සංඝාත නරකය