තාපය නරකය

තාපය නරකය

අටමහා නරකයන්හි හය වැනියට විග‍්‍රහ වන "තාපය" නම් නරකය පිළිබඳවත් ඒ දුක් නිරෝධය පිණිස ධර්ම කොටසක් විග‍්‍රහ කර ගැනීමටත් මෙම කොටස තුලින් බලාපොරොත්තු වන අතර සියලූ සසර දුක් අප‍්‍රමාදීව කෙලවර කරගැනීම පිණිස මෙම ධර්ම කොටස් උපකාර කරගැනීමට උත්සාහ දැරීම ඉතාමත් වැදගත් වේ.

"නිච්චලේ සත්තෙ නපතීති තාපෝ" නිශ්චල සත්වයෝ යමපල්ලන් විසින් තවනු ලබන හෙයින් තාප නම් වේ යැයි ධර්මයේ සඳහන් වේ. මෙහි නිරිසත්වයෝ ගිනිගෙන දිලිසෙන යකඩ පොළවෙහි ඇලී ගැලී සෙලවෙන්නටවත් නොහැකිව පෙරළෙන්නටවත් නොහැකිව දරුණු ගින්නෙන් දැවෙනවා කියලා තමයි විස්තර වෙන්නේ. තාප නිරයේ ස්වභාවය නම් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා සෙලවීමට නොහැකි වන පරිදි කෙළින් සිටුවා ඒවායේ අමුණන ලද නිරි සත්වයින්ව ගින්නෙන්ද දැවෙන්නට සැලැස්වීමයි. ලෝදියෙන් පිරී ඉතිරී ගිය අධික උෂ්ණත්වයක් සහිත මේ අපාය තුල ඒ අධික තාපයට හසුවෙලා වාෂ්ප වෙලා වායුවක් බවට පත්වෙන්නට සිද්ධ වෙනවා. අනන්ත දුක් කන්දරාවක් දරන්නට සිද්ධ වෙනවා. අපි මේ කතා කරන නිරයන්ට කියන්නාවූ තවත් නමක් තමයි ගිනි අපාය. ඉතින් ඇයි මේ විදියට අධික උෂ්ණත්වයකට හසුවී අධික තාපයකට හසුවී දැවෙන්නට සිද්ධ වෙන්නේ?

හේතුවක් නුවණින් දැකගන්නට හැකිද? විමසා බලමු...

අතිදුර්ලභව ලැබූ ඔය මනුෂ්‍ය ජීවිතය භාවිතා කරන්නේ අනුන්ට ගිනි දෙන වැඩපිළිවෙලක් වෙනුවෙන් නම් මෙන්න මේ ඉහත විස්තර කරල ප‍්‍රතිඵල හේතුවට ඵලය ලෙසින් ලැබෙනවා.

"යෝ ච රාජා අධම්මට්ඨො - රට්ඨං විද්ධංසනො සියා, තාපයිත්වා ජනපද - තාපනෙ පෙච්ච තප්පති"

ඔබගේ සිත, කය, වචනය භාවිතා කරන්නේ අන් ගෙවල් දොරවල් වනසමින්, මංමාවත් වනසමින්, පොදු දේපළ සූරාකමින්, විනාශ කරමින්, තමන්ගේ සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කමින්... අධර්මිශ්ඨ පාලනයක් මොන මට්ටමකින් හෝ සිදුකරමින්... තවත් සත්වයෙකුට හෝ සත්ව පිරිසකට සිතට ගිනි දෙන්නට සිතින් දැවෙන්නට දුක් වෙන්නට අසහනයට පත්වෙන ආකාරයෙන් නම්ල කටයුතු කලේ එසේ නම් ප‍්‍රථිඵලයද අතිභයංකරය. යම් රජයකට ධනය ලැබෙන්නේ පහළ මට්ටමේ දිළින්දාගේ පටන් මහා ධනවතා දක්වා වූ විවිධ ආකාරයේ ජනතාවගෙන් ලබාගන්නා අය බදුවලිනි. යමකු බදු වංචා කරන්නේ නම් රටේ නායකත්වයකට නිසි ලෙසින් රටට කල යුතු සේවය නොකළ හැකිය. එවිට දැවෙමින් තැවෙමින් අසහනයට පත්වන්නෝද බහුල වේ. එපමණක් නොවේ. තමා ගන්නා වේතනයට සරිලන අයුරින් සේවය නොකොට ගතමනාව ලබාගන්නෝ ද රටකට ණයකාරයෝ වේ. එවැනි කටයුතු නිසාවෙන්ද දැවෙමින් තැවෙමින් අසහනයට පත්වන්නෝ මෙතෙකැයි කිව නොහැකිය. මේ ආකාරයට ඉහළ මට්ටමේ පටන් පහළ මට්ටම දක්වාම අන් අයට හිංසා කරමින් දේපල හානි කරමින් සිත් සතන් වලට ගින් දෙන්නේ යම්සේද ඒ හේතුවට ඵලය ලෙසට තාපය නම් අපායට වැටෙන්නට සිද්ධ වේ.

අනුන්ට ගිනි දෙන වැඩපිලිවලකට සිත කැමති වෙන්නේ ඇයි?

තමනුත් දැවෙන අනුන්වත් දවන්නාවූ ඇවිළගත්තාවූ ගිනි වැඩපිළිවෙලක් අප තුල ක‍්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි විග‍්‍රහ කරගතහොත් මේ තාපය නම් නිරයට වැටෙන්නට හේතුවන්නාවූ හේතුව පමණක් නොව මුළු සසර ගිනිජාලාවටම හේතුවද නුවණින් දැක නිරෝධ කරගන්නට... නවතා දමන්නට... නිවාගන්නට හැකියාවක් ලැබෙනවා.

ඔබටත් නොදැනීම මොහොතක් මොහොතක් පාසා ඔබ විසින් ඇසුරු කරන්නාවූ ගිනි සමූහයක් පිළිබඳව විග‍්‍රහ කරදීමෙන් ඒ ගැඹුරු විග‍්‍රහය තව දුරටත් ලියා දැක්වීමට මෙවර කටයුතු කරනවා. තම තමන් ඇසුරු කරන්නාවූ ගිනි නුවණින් දැකගන්නට නොහැකිවුවහොත් "නිවීම" යනු කුමක්දැයි දැනගැනීමට ඉතාමත් අපහසු වන හෙයින් ඉතාමත් බුද්ධිමත්ව විවෘත මනසකින් යුතුව තම තම නැණ පමණින් තෝරාගන්නට උනන්දු විය යුතුයි.

විටෙක බුදුරජාණන්වහන්සේ විසින් මෙන්න මෙවන් වූ දේශනාවක් විග‍්‍රහ කරදෙනවා... (බුද්ධ ජයන්ති ත‍්‍රිපිඨකය - විනය පිඨකය - මහා වග්ග පාළිය - 1. මහා ඛන්ධකය - 48. උරුවෙල පාටිහාරිය කථා - පිටු අංකය 72 සහ 73) 

"සබ්බං භික්ඛවේ ආදිත්තං. කිඤ්ච භික්ඛවේ, සබ්බං ආදිත්තං? චක්ඛුං භික්ඛවෙ ආදිත්තං. රූපා ආදිත්තා. චක්ඛු විඤ්ඤාණං ආදිත්තං. චක්ඛු සම්ඵස්සො ආදිත්තො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උපජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං? රාගග්ගිනා, දෝසග්ගිනා, මෝහග්ගිනා ආදිත්තං. ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවහි දුක්බෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්ත’න්ති වදාමි."

මෙහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...
"මහණෙනි, සියල්ල ඇවිළ ගත්තේ ය. මහණෙනි, ඇවිළ ගත් සියල්ල කිම? මහණෙනි, ඇස ඇවිළ ගත්තේය. රූපයෝ ඇවිළ ගත්හ. චක්‍්ඛුවිඤ්ඤාණය ඇවිළ ගත්තේ ය. චක්‍්ඛුසම්ඵස්සය ඇවිළ ගත්තේ ය. චක්‍්ඛුසම්ඵස්සය හේතුවෙන් යම් සුව දුක් උපෙක්ෂා වෙදනාවක් උපදී ද, එ ද ඇවිළ ගත්තේ ය. කුමකින් ඇවිළ ගත්තේ ද? රාගගින්නෙන් දෝස ගින්නෙන් මොහ ගින්නෙන් ඇවිළ ගත්තේ ය. ජාතියෙන් ජරායෙන් මරණයෙන් සොකයෙන්ගෙන් විලාපයන්ගෙන් දුක්වලින් දොම්නස්වලින් සිත් තැවුල්වලින් ඇවිළ ගත්තේ ය" යි කියමි.”

මේ ආකාරයට ඇස සහ රූපයට සම්බන්ධ දේ වගේම කණට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ, කයට ස්පර්ශ සහ මනට ධර්ම යන සියලූ කොටස් පිළිබඳවද ඒ ධර්ම කොටස තුල ඉහත ආකාරයෙන් පෙන්වා දෙනවා. ඒ වගේම මේ ආකාරයට ඇවිළ ගත්තාවූ ස්වභාවය නුවණින් දකින ආර්ය ශ‍්‍රාවකයා ඇස, කණ, දිව, නාසය, කය, මන, රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම ආදී සියල්ල කෙරෙහි කළකිරෙනවාය... කළකිරීම නිසා නොඇලෙනවාය... නොඇලීමෙන් මිදෙනවාය... මිදුන බව දැනගන්නවාය ආදී ලෙසින් අප මහා සම්මා සම්බුදුපියාණන්වහන්සේ එම අවස්ථාවේදී පෙන්වා දෙනවා. මේ ධර්ම කොටස විග‍්‍රහ කරගන්නට හැකි නම් අපට මහා ලාභයක්ම වෙනවා. ගිනි අපා දුක් නිරෝධකරගත හැකිවෙනවා. ඒ නිසාවෙන්ම ඒ ධර්ම කොටස විග‍්‍රහ කරගන්නට උත්සාහ කරමු.

අප විසින් යම් රූපයක් දුටුවාය, ශබ්දයක් ඇසුවාය, ගන්ධයක් ස්පර්ශයක් රසයක් දැනුනාය ලෙසින් නිගමනයට පත්වන අවස්ථාවේදීම ඒ තුල යථාර්ථය නොදන්නාකම නිසාවෙන් වැරදි වැටහීමක්ම ප‍්‍රකට වෙනවා විනා යථාර්ථයක් අත්දැකගන්නට යෙදෙන්නේ නෑ. අන්න එවන් වූ මානසිකත්වයකින් සිත, කය, වචනය හසුරවන විට ලැබෙන්නාවූ රූප රූප අරමුණු, ශබ්ද රූප අරමුණු, ගන්ධ රූප අරමුණු, රස රූප අරමුණු, ස්පර්ශ රූප අරමුණු ඉදිරියේදී "මම" ය, "මගේ" ය, "මගේ ආත්මය" ය, යන නිගමනයට පත්ව කටයුතු කරන්නට යෙදෙනවා.

කුමක්ද මේ යථාර්ථය?

උදාහරණයකින් ඉතාමත් කෙටියෙන් තෝරාගනිමු. ඔබ දන්නවානේද දැල්වෙලා තියෙන විදුලි බුබුලක් එක දිගට දැල්වෙලා කියලා පෙනුනත් එහි සැබෑ යාන්ත‍්‍රණය තමයි මොහොතක් පාසා නිවි නිවී පත්තුවීම. ඒත් එහි වේගය නිසාවෙන් අපට බාහිරයට දැනෙන්නේ පේන්නේ එය අඛණ්ඩව දැල්වී තිබෙන විදුලි පහනක් ලෙසටයි.

බුදු හිමියන්ට පොල් තෙල් පහනක් දල්වන ඔබට ඒ පහන් දැල්ල තුලින්ද මේ අවස්ථාව නුවණින් දැකිය හැකියි. අපට එකම දැල්ලක් සේ බාහිරයට විද්‍යාමාන වුවත්... එකම දැල්ලක් සේ දැකගත හැකිවුණත් ඇත්තටම එහි සිද්ධ වෙන්නේ තෙල් බින්ඳු දහස් ගණනින් කෝටි ගණනින් රත්වෙමින් තනි තනි වශයෙන් ඇවිලෙන විට ඒවා එකතුවෙන් බාහිරයට මායාකාරී දැල්ලක් නිර්මාණය කරදීමයි. තෙල් තිබෙන තාක් එයට උපකාර වන තිරයක් තිබෙන තාක් ඒවාට අවශ්‍ය කරන තාපය තිබෙනතාක් ඒ යාන්ත‍්‍රණය අඛණ්ඩව සිද්ධ වෙමින් මායාකාරී දර්ශනයක්ම ලැබෙනවා.

ඔබට එදිනෙදා හමුවන රූපවාහිනියේ තාක්ෂණයද එයමයි... ඔබ ඒ තුල සත්වයින්, පුද්ගලයින්, ද්‍රව්‍ය, වස්තු ආදී ලෙසින් බොහෝ දෑ දකින නමුත් එහි යාන්ත‍්‍රණය තුල සිදුවන්නේ ඉතාමත් වේගයෙන් වර්ණ සටහන් සමූහයක්ම පමණක් ලබාදෙන යාන්ත‍්‍රණයක් පමණයි. ඒ වර්ණ සටහන් දහස් ගණනින් වේගයෙන් ක‍්‍රියාත්මක වීම හේතුවෙන් ඔබට ඒ තුලින් මායාකාරී දර්ශනයක් දැකගන්නට හැකිවෙනවා. ඒවා සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් මැනගෙන සිත, කය, වචනය මෙහෙයවා රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුතුව කටයුතු කරන්නට යෙදෙනවා.

මෙන්න මේ ආකාරයට සැබෑවටම දකිනවාය ඇසෙනවාය දැනෙනවාය ලෙසින් සිතාගෙන සිටින ඇස, කණ, දිව, නාසය, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නාවූ කොටස් එකතුවේ යථාර්ථය අපට මඟහැරී ගොස් තිබෙනවා. දැකගත නොහැකිව තිබෙනවා. මුලාවකට පත්වී තිබෙනවා. මෙන්න මේ නොදන්නාකම නිසාම "මම" ලෙසින් හැඟීම් ගෙන කටයුතු සිදුවෙනවා. ඒ "මම" කියන කොටසට ගෝචර වන්නාවූ යම් රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක හෝ ධර්මයක ආශ්වාද බලාපොරොත්තුව නිසාම "මගේ" කොටස ඇතිවෙනවා. ඒවායේ භුක්තිය ලැබෙනවාය කියලා හැෙඟන පමණින් "මගේ ආත්මය" යන හැඟීම ගොඩනැගෙනවා.

මෙන්න මේ හැඟීම් ඔස්සේ රූප ලාභයක්, ශබ්ධ ලාභයක්, ගන්ධ ලාභයක්, රස ලාභයක්, ස්පර්ශ ලාභයක් සහ මනසට මේ මේ අරමුණු ඔස්සේ ලැබෙන්නාවූ ධර්ම ආශ්වාද ලාභයක් සෙවීම තුල වංචාවන් සිදුකරනවා, තවත් සත්වයෙකුට හිංගි හිංසා කරන්නට යෙදෙනවා, අන් සතු දෑ මෙන්ම පොදු දේපලද විනාශ කරන්නට යෙදෙනවා තමනුත් දැවෙමින් රත්වූ වැඩපිළිවෙලක යෙදෙන අතරතුර ඉහත තෝරාගත් ලෙසින් බාහිරයටද ගිනිම ලැබ දෙනවා.

මෙය වටහාගත යුතු ඉතාමත් ගැඹුරු ධර්ම කොටසක් බැවින් වැඩිදුර විග‍්‍රහය මතු කලාපයටද සම්බන්ධ කරමි. එතෙක් බුද්ධිමත් මිනිසෙක් වශයෙන් මේ විස්තර කර දුන්නාවූ සත්ධර්ම කොටස තම තමන් තුලින්ම දැකගැනීමට නුවණ මෙහෙයවන්නට උත්සාහ කරන්න. ඒ තුලින් තාප නිරයේ අපා දුක් නිරෝධය පිණිස කටයුතු කරගත හැකි ආකාරය ඔබ විසින්ම හඳුනාගන්නට උත්සාහ දරන්න.

ඒ වැටහීම අප‍්‍රමාදීව නිවී සැනසීම උදාකරගැනීමට පින්වත් ඔබ සැමටම හේතු උපකාර වේවා යන මෙත් ආශිර්වාදයද ඔබ සැමටම තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන්ම ලැබේවායිද පතන්නෙමි!!