ප්‍රතාපය නරකය

ප්‍රතාපය නරකය

අටමහා නරකයන්හි හත්වැනියට විග‍්‍රහ වන ‘‘ප‍්‍රතාපය’’ නම් නරකය පිළිබඳවත් ඒ දුක් නිරෝධය පිණිස ධර්ම කොටසක් විග‍්‍රහ කර ගැනීමටත් මෙම කොටස තුලින් බලාපොරොත්තු වන අතර සියලූ සසර දුක් අප‍්‍රමාදීව කෙලවර කරගැනීම පිණිස මෙම ධර්ම කොටසත් සුපුරුදුපරිදි උපකාර කරගැනීමට උත්සාහ දැරීම ඉතාමත් වැදගත් වේ.

මහත් සේ බිහිසුණු ලෙස තවන පුළුස්සන නිසාවෙන් ප‍්‍රතාපය යැයි කියනවා. ප‍්‍රතාපය නරකයේ ගිනි ගත් අයෝමය පර්වත තිබෙනවා යැයි සඳහන් වෙනවා. මේ නරකයේ සිටින්නාවූ නිරි සත්වයන්ව යමපල්ලන් විසින් මේ මහා පර්වතයන්ට නංවා පහළට පෙරලා දමනවා. පෙරළී වැටෙන නිරි සතුන් රත්වූ යකඩ උල්වල ඇනෙනවා. නැවත නැවතත් ඔවුන් ගිනි කඳුවලට නංවමින් පෙරළ දමනවා. අනන්ත දුක් කන්දරාවක් දරන්නට සිද්ධ වෙනවා. තාපයට වගේම ප‍්‍රතාපය නම් වූ මෙම නිරයටත් කියන්නාවූ තවත් නමක් තමයි ගිනි අපාය. ‘‘මහා තාපන’’ ලෙසිනුත් හඳුන්වන මෙම නරකයට පත් නිරිසතුනටත් තාපය නම් වූ නරකයේදී මෙන්ම දීර්ඝ කාලයක් පැසෙන්නට සිද්ධ වෙනවා.   මෙහි උපදින්නට සිදුවුවහොත් ඔබට දැනෙන්නේ ගිනියම් වූ ස්වයංක‍්‍රීය ආයුධවලින් තළමින් ගිනි කන්දකට නඟින්නට අණ කරනවා වගේ. එහෙත් ඒ ගිනි කන්දෙන් බුර බුරා නැගෙන ගිනි දැල්වලින් දැවි දැවී සිටින ඔබව පහතට පෙරලා දමනවා. අධික වේදනාවකින් දුක් විඳිමින් පෙරලීගෙන කන්දෙන් පහතට එන ඔබට ලැබෙන්නේ ගිනි යම්වූ යකඩ කූරු වල ඇමිණෙන්නටයි. මේවා වචනයෙන් විස්තර කරන්නට නොහැකි තරම්වූ දරුණු වේදනාකාරී පිළිස්සුම් තුවාලයන් සහිත අධික දුක් කන්දරාවක්.

පුංචි පහන් දැල්ලකින් පිළිස්සුම් තුවාලයක් ලබන ඔබට කොතරම් වේදනාවක් දැනෙනවාද? එසේනම් මේ කියන්නාවූ දුක් කන්දරාවන් පිළිබඳව අදහසක් ගැනීමට බුද්ධිමත් ඔබට හැකියාවක් ඇති නේද? මේ අපා දුක් සහිත නරකයන් පිළිනොගෙන ඒවා තවත් එක් විසිතුරු කතාවන් ලෙසින් දැක තාවකාලික සැනසීමකට පත්ව ‘‘එපා, එපා’’ යැයි කෑමොර දෙත්දීත් අකුසලයන්ගේ නිරත වන්නාවූ සත්ව පිරිස් වෙතට කොතරම් නම් අනුකම්පාවක් දැක්විය යුතුදැයි ඔබට වැටෙහනවා නේද?

ඉතින් ඇයි මේ විදියට අධික උෂ්ණත්වයකට හසුවී අධික තාපයකට හසුවී දැවෙන්නට සිද්ධ වෙන්නේ? හේතුවක් නුවණින් දැකගන්නට හැකිද? විමසා බලමු...

අතිදුර්ලභව ලැබූ ඔය මනුෂ්‍ය ජීවිතය භාවිතා කරන්නේ අනුන්ට ගිනි දෙන වැඩපිළිවෙලක් වෙනුවෙන් නම් මෙන්න මේ ඉහත විස්තර කරල ප‍්‍රතිඵල හේතුවට ඵලය ලෙසින් ලැබෙනවා. තාපය ප‍්‍රතාපය වැනි වූ ගිනි අපායන්හි දැවෙන්නට සිද්ධ වෙනවා. මේ ගිනි දෙන වැඩපිළිවෙලට යොමුවන්නේ කුමන හේතුවක් නිසාදැයි විමසා බැලීම තුලින්ම ඒ ගිනි දෙන වැඩපිළිවෙලින් මිදෙන්නට හැකි බව එය නිරෝධ කරගන්නට හැකි බව විග‍්‍රහ කරගැනීම මේ ලිපි පෙලහි ප‍්‍රධාන අරමුණයි.
තමනුත් දැවෙන අනුන්වත් දවන්නාවූ මොහොතක් පාසා ඇවිළගත්තාවූ ගිනි සහිත වැඩපිළිවෙලක් අප තුල ක‍්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි පෙර ලිපියේදී ර්‍ණතාපය ර්‍ණ නම් නිරයට අදාල විස්තරයේදී අප විග‍්‍රහ කරගන්නට යෙදුනා.
අප‍්‍රමාණ දාහයක් ගෙන දෙන්නාවූ මේ මුළු සංසාර ගිනිජාලාවටම හේතුව නුවණින් දැක නිරෝධ කරගන්නට... නවතා දමන්නට... නිවාගන්නට හැකියාවක් ලැබීම පිණිසම තව දුරටත් ඒ කොටස විග‍්‍රහ කරගන්නට යෙදෙමු. තම තම නැණ පමණින් විමසා අනුමාන වශයෙන් හෝ තෝරාගන්නට උත්සාහ දැරීම තම තමන්ගේ යහපත පිණිසම වේවි.  

අප නුවණින් දැකිය යුතු ඉතාමත් ගැඹුරු ධර්ම කොටසක් පෙර ලිපියේදී ඉතාමත් කෙටියෙන් විග‍්‍රහ කරගන්නට යෙදුනා. එහෙත් එය කියවා වටහාගන්නට හැකි මට්ටමේ ධර්ම කොටසක් නොවන හෙයින්ම මේ උත්තරීතර බුදු දහම තුල අපට වටහාගැනීමට එවන් ගාම්භීර ධර්ම කොටසක් තිබෙනවාය යන්නද සිහියේ තබාගෙන මේ ගිනි ජාලාව අප තුල හටගැනීම පිණිස අපට හසුනොවී අප තුලම ක‍්‍රියාත්මක වන ගින්න දැකගන්නට පහසු උපමාවක් සසඳා උත්සාහ දරමු.

ඉතාමත් කෙටියෙන් පෙර ලිපිය තුලදී සඳහන් කලාවූ ධර්ම කොටස පිළිබඳව කියනවා නම් අවිද්‍යාව හෙවත් ‘‘යථාර්ථය නොදන්නාකම’’ම මුල්වී මොහොතක් පාසා ඇස, කණ, දිව, නාසය, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කියන්නාවූ ‘‘ලෝකය’’ නිර්මාණය වෙනවා.

ඒ ‘‘ලෝකය’’ නිර්මාණය වුනේම මුලාව මත නිසාම ඒ වැරදි තීරණය හේතුවෙන් කැමැත්ත - අකමැත්ත, ප‍්‍රිය - අප‍්‍රිය, මධුර - අමධුර, ආදී ලෙසින් ඇලීම - ගැටීම වගේ තත්වයන්ට යොමුවෙනවා. මමත්වය සැකසෙනවා. මැනගැනීම ඇතිවෙනවා. රාග ගින්න, ද්වේශ ගින්න, මෝහ ගින්න හෙවත් අවිද්‍යාව හෙවත් මේ නොදන්නාකමම මුල්වී සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව ආදී ලෙසින් සකස් වී මොහොතක් පාසා ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, සෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස්ස ගින්න, උපායාස ගින්න යනාදී එකලොස් ගින්නකින් දැවෙන්නට සිද්ධ වෙනවා.

උපමා සසඳා නුවණින් තෝරාගන්නේ ප‍්‍රඥාවන්තයාමයි. අන්න ඒ නිසාවෙන් මේ සිද්ධිය සරලව හඳුනාගන්නට උපමාවක් කියන්නම්.

පෙරහැර තුල ගිනි බෝල කරකවනවා ඔබ දැක ඇති. එහිදී ගිනි බෝල කීපයක් කිසියම් හැඩයකට සකස් කොට එය ඉතාමත් වේගයකින් භ‍්‍රමණය කිරීම තුල තමයි ගිනි වළල්ල කියන්නාවූ රූපයක් නිර්මාණය වුනේ. ඒ ගිනි වළල්ල සැබෑවටම පවතින්නාවූ වළල්ලක් වැනි දෙයක් ලෙසින් විශ්වාස කර එයට ඇලෙමින් එය ගෙදර ගෙන එන්නට ඔබ සැරසෙනවාද? ඒ ගිනි වළල්ල සැබෑවටම පවතින්නාවූ වළල්ලක් වැනි දෙයක් ලෙසින් විශ්වාස කර එය අලංකාර නෑ කියා හෝ ප‍්‍රමාණය ඔබට රිසිසේ නෑ කියා හෝ ගැටෙන්නට කටයුතු කරනවාද? ඔබ ඒ මොහොතට ගිනි වළල්ල දැක එතැනින් නවතිනවා විනා ඒ ඔස්සේ ඇලෙමින් බැඳෙමින් එය ‘‘මම’’ කරගන්නට ‘‘මගේ’’ කරගන්නට ‘‘මගේ ආත්මය’’ කරගන්නට වටිනාකම් දෙන්නට කටයුතු කරන්නේ නෑ නේද?
රත්තරන් හෝ වෙනත් වටිනා යැයි ලෝහයකින් නිර්මාණය වූ ‘‘මම’’ කරගන්නට ‘‘මගේ’’ කරගන්නට ‘‘මගේ ආත්මය’’ කරගන්නට වටිනාකම් දීමට සුදුසුයි සිතෙන්නාවූ වළල්ලකට වඩා වෙනස් අදහසක් ගිනි වළල්ලක් දකිනා විට ලැබෙන්නේ ඇයිදැයි නුවණින් විමසා බැලූවාද?


දැන් හොඳින් සිතන්න... ගිනි වළල්ලක් දකිනකොටම ඒ ක්ෂණයේම ඒ මොහොතේම ආයෙත් මෙනෙහි කිරිමකින් තොරවම ඒ ගිනි වළල්ල ඒ ආකාරයෙන් සකස් වෙච්ච හේතුව / ආකාරය අපට නුවණින් දැකගන්නට හැකියාවක් තියෙනවා. ගිනි වළල්ල කොතරම් අලංකාර වුණත් එය ඉතාමත් වේගයකින් ගිනි බෝල කරකැවීම කියන්නාවූ ක‍්‍රියාවලිය නිසාවෙන් නිර්මාණය මායා රූපයක් පමණමයි යන්න එය දකින ක්ෂණයේම අපට දැනෙනවා. එහෙම නේද? ගිනි වළල්ල සකස් වෙන්නේ මෙන්න මේ ආකාරයටයි ලෙසින් මෙනෙහි කරමින්වත් කාලය නාස්ති කරන්නට අවශ්‍යතාවයක් අපට නැති බව ඔබ දන්නවා. එය අසාරවත් වටිනාකම්දීමට තරම්වත් සුදුසු නැති මායාවක් පමණක් ලෙසින් ඉතාමත් පැහැදිලි අවබෝධයක් අපට ඒ ගිනි වළල්ල දකින ක්ෂණයේදීම සිතට දැනෙනවා.

මෙන්න මේ ගිනි වළල්ල නැමැති මායාවක් අපට විද්‍යාමාන වූවා සේම ඇස, කණ, දිව, නාසය, කය, මන සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ධ, රස, ගන්ධ, ස්පර්ශ, ධර්ම කියන්නාවූ තත්වයන් තුලද මොහොතක් පාසා මායාකරුවෙක් මැජික් පෙන්වනවා වගේ සකස් වීමක් සිදුවෙමින් පවතිනවා. අධික වේගයකින් සිදුවන නිසාම අපට එය ඇස, කණ, දිව, නාසය, කය කියන පංච ඉන්ද‍්‍රීයය තත්වයන්ගෙන් හසුකරගන්නට නොහැකි වෙලා තියෙනවා. අන්න ඒ නිසා මේ යථාර්ථය දැකගන්නට සිද්ධ වෙන්නේම නුවණින්මයි.

ගිනි වළල්ල නමැති මායාව බිඳහෙලන්නට අපට හැකියාව ලැබුනේ එය සකස් වෙන ආකාරයත් අපට ඒ මොහොතේම දැකගන්නට බාහිරයට විද්‍යාමාන වන නිසාමයි. පුද්ගලයෙක් ඉතාමත් වේගයෙන් ගිනි බෝල සමූහයක් කරකවන නිසාවෙන් ඒ මායාව සකස් වෙනවා කියන දේ අපට දැකගන්නට විඳගන්නටත් තියෙන නිසාම ඒ මායාවට අප හසුවන්නේ නෑ. එහෙත් එය නොදකින කුඩා දරුවෙක් එයට රැුවටෙන්නට පුළුවන්. අන්න ඒ වගේ ඉතාමත් වෙහෙසකින් දුකකින් පෙළීමකින් යුතුව මොහොතක් පාසා රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධර්ම රූප ලෙසින් මායාවක් සකස් කරමින් දුකට පත්වෙන ස්වභාවයක් අප තුල පවතිනවා. අන්න ඒ අපි මේ විශ්වාස කරන රූප තුල සිදුවන ඒ අතිවේගයෙන් ක‍්‍රියාත්මක වන වේගය නුවනින් දැකගන්නට නොහැකියාව තුලම තමයි අවිද්‍යාව කියන කොටස ගැබ්වෙන්නේ. ි මේ ලිපි පෙල තුල අප කතා කරමින් පවතින්නේත් මේ නොදැනුවත්කම අපව ගෙන යන විනාශයක තරම තමයි.

යථාර්ථය මේ ලෙසින් වන විට අප බොහෝ දෙනෙක් එය නොදන්නාකම නිසාවෙන් ඒ තුලින් ගොඩනැගෙන මායාවට මොහොතක් පාසා හසුවෙමින් මහා අමාරුවක වැටී සිටිනවා. රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් සහ ඒ අනුව ගත්තාවූ මනට ධර්මයක් ලෙසින් ලැබෙන සිතිවිල්ලක් පාසා... මොහොතක් පාසා ඒවා නිත්‍ය, සුව, සාරවත් දෑ ලෙසින් ගෙන කැමැත්තට අනුව පවත්වාගන්නට හැකි සැපයක්ම ගෙන දෙන්නාවූ ‘‘මම, මගේ, මගේ ආත්මය’’ ලෙසින් වටිනාකමක් දීමට සුදුසු සාරවත් දෙයක්ම ලෙසින් මැනගන්නට යෙදෙන්නේ මේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමුවේ සකස් වූ මායාව නොදන්නා නිසාමයි.

මේ මායාවකට රැුවටී එයම තමයි සැබෑ තත්වය ලෙසින් විශ්වාස කරගෙන කොතරම් නම් තීන්දු තීරණ නිගමන අරගන්නවාද? විටෙක යහපත් තීන්දු තීරණ ගන්නා ඔබ විටෙක අයහපත් තීන්දු තීරණ ගන්නවා. විටෙක ඒ දෙකටම අදාල නොවන මධ්‍යස්තව කටයුතු කිරීමේ ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඇරඹුම මායාවක් නම් ප‍්‍රථිඵලය කෙසේ නම් යහපතක් ලබා දෙන්නද? අන්න ඒ නිසාවෙන් ඒ සෑම දෙයක්ම 100%ක්ම නිවැරදිදැයි ප‍්‍රඥාවන්තව විමසා බැලිය යුතු වෙනවා. නුවණින් මේ දහම් තෝරාගෙන ප‍්‍රවේශම් නොවුනොත් මේ නොදන්නාකමම මුල්වෙලා ඒ ඒ අවස්ථානුකූලවම ගත්තාවූ තීන්දු තීරණ නිගමන නිවැරදි ඒවා යැයි අදහස් දෙමින් ඒවා මේ මේ දේවල් නිසාවෙන් සාධාරණයි ආදී ලෙසින් ඔබට සිතෙන්නට පිළිවන්. ගැටලූව තිබෙන්නේ ඒවා තුල ඔබව මේ තාපය, ප‍්‍රතාපය වැනි අටමහා නරකයන්ට පත්කරන්නට පවා කටයුතු සකස් වෙන නිසාමයි.

මතු ලිපිය තුලදී දරුණුම ‘‘අවිචීය’’ නම් වූ නරකය හා සබැඳිව ප‍්‍රඥාවන්තව සිහියෙන් නුවණින් වීර්යෙන් කටයුතු කොට නිවී සැනසීමට උදාකරගැනීම පිණිස හේතු නිරෝධය පිණිස මෙම දහම් කොටස වැඩි දුර විග‍්‍රහ කරගන්නට කටයුතු කරමු!! එතෙක් ඔබට මෙම ලිපිය අංශු මාත‍්‍ර වශයෙන් හෝ උපකාරයක්ම වෙත්වා ඔබ සැමටම තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවා!!! අප‍්‍රමාදීව නිවී සැනසීමම වෙත්වා!!!