සංජීව නරකය

සංජීව නරකය

නරකයන් අතුරින් අතිභයංකර අටමහා නරක තුල ‘‘සංජීව / සඤ්ජීව’’ නරකය කියලා කියන්නේ අවීචි නම් වූ නිරයට සාපේක්ෂව තරමක් වඳ හිංසාවන් අඩු, භයංකාරත්වය අඩු ස්ථානයක්.   ධර්මප‍්‍රදීපිකාවෙහි ගුරුළුගෝමී පඩිතුමා විසින් සංජීව නරකය පිළිබඳව මෙන්න මේ ආකාරයේ විස්තරයක් සිදු කර තිබෙනවාය කියලා මම කියවන්නට යෙදුන දහම් ලිපියක තිබුණා.

"යමපලූන් විසින් ගිනිගෙන දිලිසෙන ලද මුගුරින්, කඩුයෙන්, සැනින් කඩ කඩ කෙරෙන සතුන් කර්මය ඇති තාක් දුක් විඳිනා නරකය සංජීවයයි” ඉතින් සංජීව නිරයේ ඔබට ඉපදෙන්නට වුනොත් ඔබට අත්දකින්නට සිද්ධ වෙන්නේ ඔබගේ සිරුරු නැවත නැවත කැබැලිවලට කපනවා වගෙයි.  ඒ වුණාට එලෙස කැපි කැපී යන හැම මොහොතකම ඔබට නැවත නැවත පණ ලබන්නට තමයි හේතු යෙදිලා තියෙන්නේ.  කරන්නට කියන්නට සිතන්නට වූ අකුසල්වලට ලැබෙන විපාකයන්හි බරපතලකම අන්න ඒ වගෙයි.  කැපි කැපී තව තවත් විඳවන්නට වෙනවා මිසක් මරණයක් සිද්ධ වෙලා හෝ අන් අයුරක පිළියමක් ලැබ කල්ප ගණනකට ගැලවීමක් නම් ලැබෙන්නේ නෑ.  "සංජීව" යන්නෙහි තේරුමත් "නැවත නැවත පණ ලැබීම" යි කියලා තමයි පොදුවේ ඒ නිරය පිළිබඳව සිදුකරන විස්තර වල සඳහන් වෙන්නේ. 

හේතුවට අනුවයි සෑම විටම ප‍්‍රතිඵල ලැබෙන්නේ.  ඉතින් මේ ලිපි පෙල තුල හුදෙක් දත්තයන් දීම පමණක් සිදුනොවන බව ඔබ දැනටමත් දන්නවා.  "සංජීව" නම් වූ නිරයක් මෙසේ නම් ඒ නිරයට පත්වීමට හේතු සොයා බැලිය යුතු වෙනවා.  ඒ හේතු නිරෝධයත් ඒ හේතූන් නිරෝධ කරගැනීමට මාර්ගයත් විමසා බැලිය යුතු වෙනවා.  මෙය මුල, මැද, අග කළණ අංග සම්පූර්ණ සත්ධර්ම විස්තරයක් වෙන්නේ අන්න එවිටයි.

"සංජීව" නරකයට නොයා එයින් මිදෙන්නට අවශ්‍ය නම් ඔබ මුලින්ම එහි යන්නට සිද්ධ වෙන්නේ කුමන ආකාරයේ දෑ කිව්වොත්, සිතුවොත්, කලොත්ද යන්න පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙනවා.

තමන්ගේ පැවැත්ම පිණිස අන් අයගේ ජීවිත වැනසීමට යමෙක් තම සිත, කය, වචනය මෙහෙයවනවා නම් එයම තමන්ගේ ජීවන රටාව බවට පත්කරගෙන සිටිනවා නම් අන්න එවැනි පිරිස් වලට ගැලපෙන පරිසරයක් ලෙසින් තමයි මේ කියන සංජීව නිරය සකස් වී තිබෙන්නේ.

දැන් ඔබගේ ජීවිත පිළිබඳව සිතා බලන්න.  ඔබතුල මේ ආකාරයෙන් සංඛාර කිරීමක් තිබෙනවාදැයි විමසා බලන්න. ඔබගේ සිත, කය, වචනය තමන්ගේ පැවැත්ම පිණිස තවත් සත්වයෙක්ව නසන්නට පෙළන්නට කටයුතු කිරීමක් ඔබ තුල තියෙනවද?  ඔබ විසින් පන්සලකට ගියොත්... දන්නා හඳුනන ස්වාමීන්වහන්සේලානේ කියලා හෝ ශාසනයට පූජා කරන ලද යම් වස්තුවක් වේ නම් එය අනවසරයෙන් ඔබගේ පරිහරණය පිණිස ලබාගන්නවද?  එහෙමත් නැතිනම් විනාශ කර දමනවද?  ශාසනයට පූජා කරනවාය කියන්නේ බුදුරජාණන්වහන්සේලා ප‍්‍රමුඛ කොටගත් ආර්ය මහා සංඝරත්නය පූජාකරන්නට යෙදුනාවූ වස්තුවයි.  ආහාරයක් හෝ වේවා බෙහෙතක් හෝ වේවා දේපලක් හෝ වේවා මොනයම් හෝ ආකාරයේ පරිභෝජනය පිණිස වූ සඟ සතු දේපලක් හෝ වේවා පරිහරණයේදී බොහෝම ප‍්‍රවේශම් වීමට වගබලාගත යුතුමයි.  ඇයි දන්නවද මෙය ඔබගේ පුරුද්දක් බවට දැනටමත් පත්වී තිබෙනවා නම් සංජීව නිරයේ දොරටුව ඔබට විවෘත වීමට මඟ බලාගෙන සිටිනවා වන්නට පුළුවන්.

මන්ද තමන්ගේ පැවැත්ම පිණිස තවත් සත්වයෙකුගේ ජීවිත විනාශ කරන සතුන් මරන යමෙක් වේ නම් එවැනි සකස් කිරීමකට ලැබෙන විපාක ඵලය තමයි ඒ ආකාරයට තමන්ටත් මැරි මැරී ඒ දුන්නාවූ වධහිංසා වලට ගැලපෙන ලෙසින් දුක් විඳින්නට ලැබීම.  ඒ විතරක් නෙවේ තමන්ගේ ලාභය පැවැත්ම පිණිස ශාසනය සතු දේපළ, ආර්ය පුද්ගලයන්ගේ හා තම දෙමව්පියන්ගේ දේපළ ආදිය අනවසරයෙන් හෝ බලෙන් ලබාගන්නට කටයුතු කරන්නාවූ භවක් තිබේ නම් එයට ගැලපෙන්නට ජාතිය පහල වෙන්නෙත් මේ ආකාරයෙන් විපාක ලැබීමටයි.  තමන්ගේ පැවැත්ම පිණිස අන් අයව නැසූ නිසාවෙන් පෙලූ නිසාවෙන් විපාකය ලැබෙන්නේ ගිනිගෙන දිලිසෙන ලද මුගුරින් කඩුයෙන්, සැනින් කඩ කඩ කරන විට මිය යමින් නැවත පහල වෙමින් නැවත මිය යමින් නැවත පහල වෙමින් අනන්ත වූ දුක් රැුසකට උරුමකම් ලැබීමටයි.  පේනවානේ සෙල්ලම් නෑ නේද? 

මේ දුක් රැසක් ගෙන දෙන වැඩපිළිවෙල තමන් තුල ක‍්‍රියාත්මක වෙන්නේ ඇයි කියලා ගැටලූවක්ද? 

එහෙනම් ඉතාමත් කෙටියෙන් එය හේතුව පෙන්වා දෙනවා නම්, මේ පැවැත්ම සාරයි, සුවයි, වටිනවාය, යහපත්ය කියන හැඟීම නිසාම සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් ලෙසින් දෘෂ්ඨි ගෙන "මම" කරගත්තාවූ "මගේ" කරගත්තාවූ වැඩපිලිවෙලක තමයි අප බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ.  ඒ වැරදි දැකීම නිසාම තමයි "මම" සහ "මගේ" කරගත්තාවූ කොටස පවත්වාගැනීමට රැුකගැනීමට ඒ ඒ පුද්ගලයන් විසින් තම සිත, කය, වචනය හසුරවමින් කටයුතු කරන්නේ.  අවිද්‍යාව මුල්වී සංඛාර කරනවාය කියන්නෙත් තවත් ආකාරයකින් එයටයි.  ඒ කරන කියන සිතන දේවල් තුලින් තවත් සත්වයෙක් පෙලෙනවා නම් විනාශයට පත්වෙනවා නම් සිදුවන්නේ අයහපතක් නම් ලැබෙන ප‍්‍රතිඵලයත් අයහපත් වෙනවා.

"සංජීව" නමින් නිරයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඒ ගැලපෙන කර්ම රැස්කරගත්තාවූ සසර අනාථ ජීවීන් පිරිසකට අදාල ප‍්‍රතිඵලය ලැබීමටයි.  එපා එපා කියා හඬා වැටෙත්දී අන් අයව නැසූ පෙලූ ලෙසින්ම තමනුත් මොහොතක් මොහොතක් පාසා ඒ එපා දුක හෙවත් අපා දුක අත්දැක ගැනීමට තමයි පරිසරය සැකසෙන්නේ.  ඉතින් තමන්ගේ පැවැත්ම පිණිස අන් අයව නැසීම, පෙලීම කරන විටදී නම්... කියන විටදී නම්... සිතන විටදී නම්... බොහෝම රසවත් ප‍්‍රියවූ වැඩපිලිවෙලක් ලෙසින් තමයි කරගෙන යන්නේ එහෙම නේද?  ඒ වැඩපිලිවෙල තුල සාරවත් බවක්මයි ඒ ඒ පුද්ගලයන් දකින්නේ. 

අන්න ඒ නිසා තමයි බුදු හිමියන් විසින් ප‍්‍රඥාවන්තයින්ගේ යහපත පිණිස අපූරු මාර්ගයක් පෙන්වා දුන්නේ.  සුවයි, සැපයි, යහපත්ය, හොඳයි, වටිනවාය කියන්නා වූ යම් පැවැත්මක් වේ නම් ඒ පැවැත්මේ යථාර්ථය ධර්මය තුලින් පෙන්වා දෙන විට මේ සසර පැවැත්මේ අසාරත්වය කෙරෙහි තමන්ගේ නොදැනුවත්ව බව යමෙක් වටහාගත් විට ඒ පුද්ගලයාගේ දැක්ම නිවැරදි වෙනවා.  "සම්මා දිට්ඨි"යට පත්වෙනවා කියලාත් කියනවා.  ආර්ය වූ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වීම තමයි ඒ තුලින් අදහස් කරන්නේ.  එයම තමයි තවත් ආකාරයකින් සෝතාපන්න ඵලයට පත්වෙනවාය කියලා කියන්නෙත්.  අන්න එවිට සංජීව නිරයෙන් සඳහටම නිදහස් වුණාය කියලා වගකීම් සහතිකයක් සත්ධර්මය තුලින්ම ලැබෙනවා. 

එතෙක් ඔබ යහපත් ලෙසින් කටයුතු කල පමණින් මෙම නිරයෙන් හැමදාටම නිදහස් වුණාය කියලා සිත නිදහස් කරගන්නට නම් නොහැකියි.  මන්ද තවමත් ඔබ තුල මේ ලෝකයේ සාරත්වයක් දකිමින් මේ ලෝකය "මම"ය "මගේය" ලෙසින් ගැනීම සුදුසුයි ලෙසින් දකිමින් ඒ දැක්ම නිසාම "මම" සහ "මගේ" පැවැත්වීම පිණිස අනුන් නැසීමේ පෙලීමේ වැඩපිලිවෙල ක‍්‍රියාත්මක වීමට හේතු තියෙනවා.  හේතු තිබෙන තාක් ඵලයක් ලැබෙනවා.  ඵලය නැසීමට නම් හේතු නිරෝධ කල යුතු වෙනවා.  එහෙනම් බුද්ධිමත් වෙන්න. 

"මම සංජීව නිරයෙන් නිදහස්ය කියලා සෑහීමකට පත්වීමට මට නොහැකියි" කියලා ඔබට සිතෙනවා නම් දැන් ඉතින් අප‍්‍රමාදීව ඒ නිදහස ලැබීමට නිවීම පිණිස වූ සත්ධර්මය ඇසුරු කරන්න!!! කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය වැඩි කරන්න!!!  ඒ අසාගන්නා සත්ධර්මය නොපමාව දරමින් ප‍්‍රායෝගිකව භාවිතයෙන්, බහුලව භාවිතයෙන් නොපමාව "සංජීව අපා දුක නිරෝධය" පිණිස කටයුතු සලසාගන්න!!!  දුක් නිරෝධ මාර්ගයට පිවිසෙන්න!!!