ප්‍රේත අපා දුක

උපනත් පේතව පව්කොට නොපනත් - කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමනත්

උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුනත් - කලෙකත් පින්නොකැළකිමයි සිතුනත් 

කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමනත්! හ්ම්!!! ඔන්න සෙම් සොටු කන්න කැමති නම් ඔබට පුළුවන් පෙරේතයෙක් වෙන්න... කැමතිද?  ඔබ දැන් මටත් බනිනවා ඇති "මෙන්න මට පෙරේතයෙක් වෙන්න කියනවා" කියලා.  නැහැ ඔබ දැන හෝ නොදැන හෝ මේ වගේ අන්ත දුකකට පාර කපාගන්නට, නැත්නම් වීසා අවසර පත යොදාගන්නට උත්සාහ කරනවා නම් එයින් මුදවාගන්නට මාර්ගය පාදා දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. 

පෙරේතයෙක් වුණාම කන්න ලැබෙන්නේ සෙම් සොටු වගේ පිළිකුල් සහගත දේයි.  වැසිකිළි වලවල් තුල තමයි ඉන්න වෙන්නේ.  කොතරම් රස බර ආහාරයක් මැවී ආවත් ඒවා දැකීමෙන් නොලැබීමෙන් දුකටම පත්වෙනවා මිස ඒවායේ රස බලන්නට හැකියාවක් ලැබෙන්නේ නම් නැහැ... "උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුනත්" කියලා පෙන්වා දුන්නෙත් එයම තමයි. 

තිරිසන් අපායේ වගේ තමයි ඔබ පෙරේතයෙක් වුණොත් ඔබට නිශ්චිත කාල සීමාව තුල පින් කරන්නට නම් අවස්ථාවක් ලැබෙන එකක් නැහැ.  එයින් මිදෙන්නට බොහෝම අපහසු වෙයි.  ඉතින් පිළිකුල් සහගත තැන් වල සිටිමින් ඒ අපද්‍රව්‍ය කමින් ඒවා කන බව දැන දැනම සිටින්නට සිදුවීම කොතරම් දුකක් විය හැකිද කියලා ඔබට හිතාගන්නට පුළුවන්ද?  ඉතින් මේ ප්‍රේත ලෝකය ගැන කියැවෙච්ච බොහෝ දෑ ධර්මයේ තිබෙනවා.  ඒවා ගැන එලෙස විස්තර කරලා තියෙන්නේම අපිට බේරෙන්නට අවස්ථාවක් දෙන්නටයි.  ඉතින් නිසි ලෙස කටයුතු කරන එක මේ දේවල් ගැන දැනුවත් වෙන එක බුද්ධිමත් ඔබටම භාරකරමි.