නිවී සැනසීමට උපකාර වන කරුණු කීපයක්!

බාහිර කටයුතු නිසාවෙන්... කියන කරන දෑ නිසාවෙන් කිසිවෙකුගේත් ගුණ මහත්වය මනින්නට තරම් හැකියාවක් ඥානයක් ඔබට මට නොපිහිටයි... එසේ කරනවා නම් සිදුකරන්නේ අවිදයාවේම ප්‍රථිඵලයක් නිසාවෙන් මිස ප්‍රඥාවන්තකම නිසාවෙන් නම් නොවේ. බාහිර කටයුතු අනුව යම් කළණ මිත්‍රත්වයකට ඇලීම හෝ ගැටීම අපගේ නිවනට බාධාවක්මයි. එනිසා ප්‍රඥාවන්තව විමසා බලා නිසි ඵල නෙලාගැනීමට මෙම කෙටියෙන් සටහන් තැබූ දහම් එකතුව ඔබට උපකාරයක්ම වේවි!

නිවී සැනසීමට උපකාර වන කරුණු කීපයක්!

  04 මැයි 2011

"සෑම භික්ෂූන්වහන්සේ කෙනෙකුටම සම්මා සම්බුදු පියාණන්වහන්සේගෙන් පැවතගෙන එන ආර්ය මහා සංඝරත්නය සිහිකොට ඒ සෑම දෙනාටම සමසේ ගරුකරන්නට පුරුදු පුහුණු වන්න!"

"දේශනයකට සවන් දෙන විට හෝ ලිපියක් කියවන විට දේශකයානන්වහන්සේගේ වරදක් සොයන අදහසින් නොව තමාගේ රාගය ද්වේශය මෝහය අංශුමාත්‍රයක් හෝ අඩුවන, ඒවා ක්ෂය කර දමන්නට හේතුවන දහම් කරුණක් සොයාගනිමි එය භාවිතා කොට සැනසෙමි යන අදහස ඇතිව විවෘත මනසකින් යුක්තව ඒ ඒ දේශනයන්ට සවන් දෙන්න... ලිපි කියවන්න!"

"මුලින්ම භික්ෂූණ්වහන්සේගේ නම ගම නිකාය සිවුරේ වර්ණය කොතරම් වත්කමක් තියෙනවාද ඉන්නේ පන්සලකද ගල්ලෙනකද ආදී දේ සොයන්නේ නැතිව කියන්නේ කුමක්දැයි යන්න විමසා බලන්නට පුරුදු පුහුණු වෙන්න!"

"තමන් යම් ධර්මයක් ශ්‍රවණය කරන විට හෝ ලිපියක් කියවන විට තමා වඩාත්ම කැමති භික්ෂූණ්වහන්සේ කියන දේට ගැලපෙනවාද යන්න හෝ පොතක පතක තියෙන ධර්මයකට ගැලපෙනවාද යන්න හෝ සොයන අදහසින් සංසන්දනය නොකර අහන මොහොතේ හොදින් අසාගෙන එය ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට කොතරම් උපකාර වෙනවාද ඒ තුලින් ඔබේ රාගය ද්වේශය මෝහය යන කුණු ඉවත්වෙන්නට උපකාරයක් ලැබෙනවාද යන්න පමණක් ගැන සැලකිලිමත් වෙන්න!" 

"තමා තවමත් අරිහත්වයට පත්වී නොමැති නම් ඒ බව නිතර සිහි තබාගෙන ධර්මය ඇසුරු කරන්න!"

"මම සියල්ල දන්නවා හෝ මම බොහෝ දෑ දන්නවා" යන අදහස තුලින් ඔබව දූෂ්‍ය වන්නට ඉඩ නොදෙන්න... ධර්මයටම මුල් තැන දෙන්න... ධර්මය තමා තුලට ලං කරගන්න... ධර්මය තුලින් සිත කය වචනය සංවරත්වයට පත්කරගැනීම තමාටම කරගත හැක්කක් විනා අන් අයෙකුට එය කල නොහැකි බව සිහි තබාගන්න... කිසිවෙකුටත් තමාව ගලවා ගත නොහැකියි, එය කරගත හැක්කේ තමාටම පමණයි යන අදහසින් යුක්තව එය මුඛ්‍ය / ප්‍රධාන / ප්‍රමුඛ අරමුණ කරගෙන සැනසීමට පත්වෙන්නට කටයුතු සම්පාදනය කරගන්න!"

අවවාදයක් නොවේ... තර්ජනයක්ද නොවේ... බලකිරීමක්ද නොවේ... ඔබේ නුවණින් ඔබම විමසා ඔබ වෙනුවෙන් යහපත ඉටු කරගන්නට උපකාර වන කරුණක් පමණි... කැමැත්තෝ මෙත් සිතින් අනුගමනය කොට යහපත උදාකරගනිත්වා!! 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;