ඇසිය යුත්තේ මොනවද?

  01 පෙබරවාරි 2013

එහෙනම් කව්රු, කොහොම, කුමන පදයකින්, කුමන විලාශයකින්, කිව්වත් ඒ කියන දේ තුලින් ඔබට ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු වල සැබෑව පෙන්වා දෙමින් අංශු මාත්‍රයකින්වත් රාගයක් ඉතිරි නොවෙන්නට, ද්වේශයක් ඉතිරි නොවෙන්නට, මෝහයක් ඉතිරි නොවෙන්නට යමක් කියවිය යුතුයි. 

පැවැත්ම නවත්වන බුදු හිමියන්ගේ බණ එසේ විය යුතුයි නොවේදැයි, ප්‍රඥාවන්තව විමසන්නට තරම් ඔබට ප්‍රඥාවක් තියෙනවා නේද?  ඒ ප්‍රඥාව නැතිනම් ඉතින් දහමේ මේ ගැඹුරු හරය විමසන්නට අපහසු වෙනවා.  වචන පද වලම එල්ලිලා මෙසේ විමසන ප්‍රඥාවක් නැගෙන තුරු පැවැත්මේම තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා ඔබේ ප්‍රඥාවෙන් විමසන්න!  

ඇයි? මෙය පොත පතක තිබූ නිසා විශ්වාස කරන්නට ඕන දෙයක් නෙවේ නේද?  තම තමන්ගේ නැණ පමණින් විමසා තෝරාගන්නට හැකි සරළ කරුණක්.  මේ තරමින්වත් තමන් ගැන සොයා බලන්නට විමසන්නට ශක්තියක් නැතිව නිවන් මඟ පාදා ගන්නට හැකි යැයි සිතන්නට එපා.  ඇයි? නිවන් දකින්නට අවශ්‍ය නම් නිවන නැති වෙලා තියෙන හේතු හොයලා නැති කරගන්නට ඕනනේ... ඒ දේ කරගන්නට නම් තමන්ව විමසන්නටම වෙනවා  නේද කියලා හිතලා බලන්නකෝ?  මේක කව්රුවත් කිව්ව නිසා පිළිගන්න ඕනද? පොතක පතක ලියලා තියෙන්න ඕනද? 

ඔය කියන පුංචි කාරණය තමන් තුලින් විමසා බලන්නේ නැතිව, ඔබ ත්‍රිපිටක පොත පත තුලත් ලියා තිබෙන නිසා මේක නම් හරිම දහම තමයි කියලා පිළිගන්නවා කියන්නෙත් නැවතත් හොයන්නේ බලන්නේ නැතිව භාරගෙන කියන එකයි.  ඒ නිසා පෙර කිවූ දේ හොඳින් වටහාගන්න... තමන් තුලින්ම විමසා බලන්න.  ඉන්පසුව පොතක් පතක් වුණත්... අහන බණක් වුණත්... ඔබ සොයන නිවීම පිණිස වූ සැබෑ දහම ලබාදෙනවාද කියලා හොයාගන්නට අපහසු වෙන්නේ නෑ.  නැතිනම් ඔබේ සිත එක් අවස්ථාවක විමසයි මේ පොතේ තියෙන්නෙත් බුදු බණ කියලා කොහොමද පිළිගන්නද කියලා. 

සැකය කියන්නේ මහා අනතුරක් ගෙන දෙන මහා කුණු ගොඩක්.  ඒ නිසා තම තම නැණ පමණින් මේ දේවල් ප්‍රඥාවන්තව විමසන්න!

ඒ කරුණත් සිහියේ තබාගෙන මෙතැන් පටන්ගෙන ත්‍රිපිටක දහම් තුල මේ බව පෙන්වා තිබෙන අවස්ථාවක් තිබෙනවාද කියලා විමසා බලමු!