ඇතිවූ විට දැනෙනවාද?

  01 පෙබරවාරි 2013

ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු හමුවේ රාගයක්, ඇලීමක්, අසහනයකට පත්වීමක් සිදුවූ විට හඳුනාගන්නට හැකිද? නොහැකිද?  අහන්න තමන්ගෙන්ම...ප්‍රඥාවන්තව තමන්වම විමසන්න!

ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු හමුවේ ගැටීමක්, දුකක්, අසහනයකට පත්වීමක්, තරහක්, ද්වේශයක් ඇතිවූ විට හඳුනාගන්නට හැකිද? නොහැකිද?  අහන්න තමන්ගෙන්ම...ප්‍රඥාවන්තව තමන්වම විමසන්න!

ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු හමුවේ උපෙක්ෂාවට පත්වීමක්, එය ඇලීමෙන් හෝ ගැටීමෙන් භාර නොගෙන සිටීමක්, ඒ අරමුණු වූ දෑ ලෝකයේ තිබෙන ඇත්තටම පවතින දෑ සේ දැනීමක්, එසේත් නැතිනම් ලෝකයේ ඔය කිසිවක් නැතැයි යන හැඟීමක්, “මම“ යන හැඟීමක්... “මම“ යන දැනීමක්... සිතේ සියුම් සේ හෝ මේ මෝහයක් හටගත් විට හඳුනාගන්නට හැකිද? නොහැකිද?  අහන්න තමන්ගෙන්ම...ප්‍රඥාවන්තව තමන්වම විමසන්න!

යමකින් අසහනයක් ලැබෙනවා නම්... දුකක් ලැබෙනවා නම්... මහා බරක් උසුලාගෙන සිටිනවා සේ දැනෙනවා නම්... මොහොතක් මොහොතක් පාසා කෙලවරක් නැති හැඟීම් ඇතිවෙමින්... “මම“ මෙහෙමයි... “මම“ අරහෙමයි... “මට“ මෙසේ විය යුතුයි... ආදී ලෙසින් “මම“ “මම“ “මම“ ආදී කෙලවරක් නැති කලබගෑනියක් සිතේ ඇතිවෙනවා නම් එය හොඳයිද?  “මට“ මොනවා හෝ වෙයි... “මට“ මේ දේ නැතිවෙයි... ආදී සේ යම් යම් කරුණු ඔස්සේ බියක් අසහනයක් ඇතිවෙනවා නම්... එය හොඳයිද? මේ වගේ අසහනකාරී දේවල් තමන් තුල ඇතිවූ විට දැනෙනවද? 

අනාගතය වෙනුවෙන්... පැවැත්ම වෙනුවෙන්... කටයුතු කරගන්නට... ආහාර, වස්ත්‍ර, වාසස්ථාන, බෙහෙත් ආදී මූලික අවශ්‍යතාවයන් පිණිසත් කොතරම් අසහනයක් දුකක් බරක් උසුලාගෙන සිටිනවාදැයි තමන්ට දැනෙනවද?  ඒ ඒ අරමුණු හමුවේ මොහොතක් පාසා රාගයෙන් හෝ ද්වේශයෙන් හෝ උපේක්ෂාවෙන් හෝ ප්‍රතිචාර දක්වමින් සිටින බව දැනෙනවද?  මේ ආකාරයෙන් මොහොතකටවත් සිතට කිසිම විවේකයක් නැති බව දැනෙනවද?  ඒ ඒ අරමුණු හමුවේ සිත අසහනයට පත්වන විට පීඩනයකට පත්වෙන විට දැනෙනවද?  එහෙම දැනෙනවා නම් ඒ වගේ අවස්ථාවල් ඇත්තටම හොඳයිද?  ඔබ නැවත නැවත එවැනි අසහනයක් ලැබේවායි පතනවද?  නැතිනම් මිදීමක් සොයනවද?  මේ දේට පිළිතුරු ඔබට ලබාගන්නට හැකියි නේද?