බහා බැලිය යුතු ධර්මය කුමක්ද?

  01 පෙබරවාරි 2013

“කතමියං ධම්මතායං උපනික්ඛීපිතබ්බානි: පටිච්චසමුප්පාදෙ - කවර ධර්මතායෙක බස්වාලියැ යුත්තාහ යත්: ප්‍රතීත්‍යසමුත්පාද ධර්මතායෙහි යි.“

ලෝකයේ එකම එක ධර්මයක් තිබෙනවා. ඒ තමයි හේතු ඵල ධර්මය.  මෙන්න මේ ධර්මයට තමයි අප විසින් අසනා සියලු ධර්මයන් යොදා බැලිය යුතු වන්නේ. හේතු ඵල ධර්මයට කියන තව නමක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය.

සූත්‍රයට... විනයට ගැලපෙන දහම් විග්‍රහයක් තුල පටිච්ච සමුප්පාද දහම් විග්‍රහයක් යෙදෙන්නේ නැතැයි යන්න සිද්ධ විය හැකි දෙයක් නොවේ.  මන්ද සූත්‍රය තුලම පවතින්නේ හේතු ඵල දහමයි.  එය තුලම ගැබ්වෙන්නේ මේ කියන ප්‍රශ්ණ සියල්ල ඇතිවන්නට මුල්වූ පටිච්ච සමුප්පාද ධර්ම රටාවයි. 

රාගය, ද්වේශය, මෝහය නැමැති ඵලය ඔබට  තනිවම හසුකරගන්නට නොහැකි වූ අති සියුම් මට්ටම දක්වා විග්‍රහ වෙනවා නම්.... ඒ තුල එයට හේතුවත් ඔබට තනිවම හසුකරගන්නට නොහැකි වූ අති සියුම් මට්ටමට විග්‍රහ වෙනවා නම්... ඒවායෙන් මිදීම සහ මිදීමේ මාර්ගය විග්‍රහ වෙනවා නම් වචන කුමක් වුවත්, ශෛලිය කුමක් වුවත්, භාෂාව කුමක් වුවත්, පුද්ගලයා කව්රුන් වුවත්, ඒ විග්‍රහය සූත්‍රයට, විනයට, ධර්මයට සසැඳෙන... බහා හිටින බුද්ධ දේශනාවක්මයි.