බහා බැලිය යුතු විනය කුමක්ද?

  01 පෙබරවාරි 2013

අපේ ප්‍රශ්ණයට විසඳුම ලැබෙනවා නම් එයම තමයි විනය කියලා කියන්නේ.  ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු හමුවේ අසංවරබවට පත්වෙන නිසාම... අවිනයට පත්වෙන නිසාම... අවිවේකයක්... අසහනයක්... දුක් කරදර බොහෝමයක්... අවුල් ජාලාවක් ඇතිවෙනවා.  රාගය ලෙසින් අවිනයක් ඇතිවෙනවා... ද්වේශය ලෙසින් අවිනයක් ඇතිවෙනවා... මෝහය ලෙසින් අවිනයක් ඇතිවෙනවා.

එහෙනම් ඒ අසංවර බව කියූ ඵලය අප දන්නා මට්ටමේ පටන්ගෙන නොදන්නා මට්ටම දක්වා විග්‍රහ විය යුතුයි.  කොතරම් සියුම් ලෙස අසංවර බව කියන ඵලය ඇතිවෙලාදැයි පෙර නොඇසූ විරූ දහම් විග්‍රහ විය යුතුයි. 

ඒ අසංවර බව, අවිනය නැමැති ඵලය ඇතිවෙන්නට හේතුවූ දෑ අඩුවක් නැතිව විග්‍රහ විය යුතුයි.  දන්නා මට්ටමේ සිට නොදන්නා මට්ටම දක්වා හේතුව විග්‍රහ විය යුතුයි.

එහෙනම්,  රාග විනය... ද්වේශ විනය... මෝහ විනය... සිදුවිය යුතුයි නේද?  රාගය ක්ෂය විය යුතුයි.  ද්වේශය ක්ෂය විය යුතුයි.  මෝහය ක්ෂය විය යුතුයි.  නැවත ඒවා නැගෙන්නට ඇති හේතුත් සමඟින්ම තමයි මේවා නැති වෙන්නට ඕන.  එවිටයි රාග විනය, ද්වේශ විනය, මෝහ විනය, සිදුවුණාය සිදුවෙන්නට උපකාර වන දහමක්ය කියලා අපට කියන්නට හැකිවෙන්නේ.

සැබෑ සතුට හිමි කරගන්නට නම් ඒ කියන්නෙ නිවෙන්නට නම් අපි දැවෙන්නේ කුමකින්ද කියලා හදුනාගැනීම වැදගත් වෙනවා. අපි දැවෙන ගිනි දැල් ඔබ දන්නවාද?  රාග ගිනි දැල් වලින්, ද්වේශ ගිනි දැල් වලින් සහ මෝහ ගිනි දැල් වලින් තමයි නේද අපි දැවෙමින් ඉන්නේ? මේ කියන ගිනි නිවාගත්ත නම් අපිට මහා සැනසීමක් නිවීමක් ලැබෙනවා. ඉතින් විනය කියලා කියන්නේ ඔන්න ඔය කියන රාගය, ද්වේශය, මෝහය නැමැති ගිනි නිවා ගැනීමයි. 

කතමස්මිං විනයේ සන්දස්සයිතබ්බානි: රාග විනයෙ දෝසවිනයෙ මොහ විනයෙ.

කවර විනයක සසඳාලියැ යුත්තාහ යත්: රාග විනයෙහි දෝසවිනයෙහි, මෝහ විනයෙහි යැ.

එහෙනම් දැන් කව්රු එක එක ජාතියෙන් මොන මොනවා කිව්වත්... ඒ කියන දේ තුල ඔබ මෙතෙක් කාලයක් නොදන්නා නොදැක්ක නොහඳුනාගත් කෝණයකින් ප්‍රශ්ණය විග්‍රහ විය යුතුයි... ඒ ප්‍රශ්ණයට හේතුවත් එසේම විග්‍රහ විය යුතුයි... ඒ ප්‍රශ්ණයට විසඳුම සහ විසඳුම ලබාගන්නා මාර්ගය පැහැදිලි විය යුතුයි.  යමක් අහන විට මෙන්න මේ සූත්‍රය එහි ගැබ්වූ බව තමන්ටම අවබෝධයක් ලැබිය යුතුයි.  තමන් තුල ඒ සූත්‍රය පිළිබඳව ප්‍රඥාව තහවුරු විය යුතුයි. 

සූත්‍රය එසේ ගැලපෙනවා නම්... විනය සිදුවෙන බව කියන්නත් දෙයක්ද...  රාගය, ද්වේශ, මෝහය ශේෂයක්වත් නැතිව... අංශුවක්වත් නැතිව... යටපත්වෙන්නේ නැතිව... මුලින්ම ගැලවී යා යුතුයි... නැතිවී යා යුතුයි... සූත්‍රය හරියට ගැලපෙන්නට දේශනා කරන දහමක් නම් මේ කියන විනය සිද්ධ වෙන්නට හේතු ඒ දහම් විග්‍රහය තුල තිබෙනවා.  ඒ විග්‍රහය විනය හා සසැඳෙනවා...

කුමන කුමන ආකරයෙන් හෝ වේවා කුමන කුමන භාෂාවකින් හෝ වේවා කුමන කුමන ශෛලියකින් හෝ වේවා ඔබ දන්නා කියන දේහි... ඔබ දන්නා කියන ඔබ ගැනම... පෙර නොඇසූ විරූ පරිදි විග්‍රහයක් සිද්ධ වී ඔබ තුල පෙර නොතිබූ විරූ සංවරත්වයක් ඇතිවෙන්නට ඒ විග්‍රහය ප්‍රබල විය යුතුයි. 

එසේ නම් යමක් අසාගන්නා විට... කියවන විට... මෙන්න මෙසේ සූත්‍රය විනය විග්‍රහ වෙනවාදැයි විමසා බලන විමර්ශන ප්‍රඥාවක් ඔබ තුල තිබිය යුතුයි.