මේ බුදු වදනක්දැයි සොයන්න!

  01 පෙබරවාරි 2013

දැන් මේ කියන දේ උපමාවකින් බලමු... ප්‍රඥාවන්තව මේ කියන කරුණ ගැන විමසන්න...

ඔබ බණක් අහනවා.  යම් භික්ෂුවක් හෝ වේවා භික්ෂුණියක් හෝ වේවා යම් ගිහි පින්වතෙක් හෝ වේවා දේශනා කරනවා"බෞද්ධයෙක් විදියට නියම ධර්මය පිළිපදින කෙනෙක් විදියට අප විසින් රට ජාතිය ආගම රැකගත යුතුයි.  ඔබ විසින් ජාතිය උදෙසා තව තවත් දරුවන් බිහි කල යුතුයි.  ඔබ විසින් ආගම රැකගන්නට සටන් වැදිය යුතුයි.  ආගමට ජාතියට හිරිහැර කරනවුන් පලවා හැරිය යුතුයි"  මෙන්න මේ වගේ දේශනාවක් ඇහෙනවා කියලා හිතන්න.  නියම ධර්මය පිලිපැදීම නම් නියම බෞද්ධයා නම් බුදු හිමියන්ට ගරු කරන නියම බෞද්ධයෙක් නම් මේ විදියට කටයුතු කල යුතුයි කියලා වැඩි වැඩියෙන් එකතු කරමිනුත් කියනවා.  

දැන් ඉතින් නොඉවසිල්ලෙන් "ආනේ, බුදු හාමුදුරුවන් පවා මෙහෙමනේ කියලා තියෙන්නේ, මම මේ දේවල් කලොත් තමයි බෞද්ධයෙක් වෙන්නේ, ඒ නිසා මම වහ වහා මේ දේවල් පිලිපැදිය යුතුයි" කියලා ඉක්මන් තීරණගන්නවද?  නෑ.  බුදු හිමියන් විසින්ම ඉවසීමේ ගුණය පෙන්වා දී තිබෙනවා.  ඉවසීමෙන් යුතුව මුලින්ම කරන්න ඕන මොකක්ද?  මේ කියන්නේ ඇත්තටම බුදු හිමියන් දේශනා කල ක්‍රමයක්ද, බුදු හිමියන් පෙන්වා දුන් නිවන් මගක්ද, බුදු හිමියන් පෙන්වා දුන්න නියම බුද්ධ දේශනාවක්ද, බුදු හිමියන් අනුමත කරන ලද ධර්ම මාර්ගයක්ද මේ කියලා සොයාගන්න අවශ්‍ය වෙනවා. 

කොහොමද හොයන්නේ? සූත්‍රයට බහා බැලිය යුතුයි, විනයට බහා බැලිය යුතුයි, හේතුඵල ධර්මතාවයට හෙවත් පටිච්ච සමුප්පාදයට බහා බැලිය යුතුයි.  එහෙම නේද?  ඒවාට සැසදෙනවා නම් පමණයි එය භාරගත යුතු වෙන්නේ.  සැසදෙන්නේ නැතිනම් වහ වහා ඒවා තුලින් ඉවත් විය යුතු වෙනවා. 

මේ කියන කරුණ අනුව ඇසුරු කලොත්, භාවිතා කලොත්, බහුලව භාවිතා කලොත්,  රාගය අඩුවෙයිද වැඩිවෙයිද නැතිවෙයිද?  ද්වේශය අඩුවෙයිද වැඩිවෙයිද නැතිවෙයිද?  මෝහය අඩුවෙයිද වැඩිවෙයිද නැතිවෙයිද?  ප්‍රඥාවෙන් විමසා බලන්න.