හේතුව විග්‍රහ වීම

  01 පෙබරවාරි 2013

සූත්‍රයේ දෙවැනි අවස්ථාව තමයි ඵලයට හේතුව හෙවත් ප්‍රශ්ණයට හේතුව හඳුනාගැනීම කියන අවස්ථාව.  මෙන්න මේ හේතුව නිකම්ම නිකම් පදයක් වශයෙන් කියැවිලා හරියන්නේ නෑ.  ඔබේ ප්‍රශ්ණයට ඔබ දන්නා මට්ටමින් හේතුවක් ඔබට හඳුනාගන්නට හැකියි.  එහෙත් දන්නා මට්ටම කියලා දෙන්නට වෙනත් අයෙකු අවශ්‍ය නෑනේ නේද? 

එහෙනම් විශේෂ ඥානයකින් දහම් පෙන්වා දෙන්නට හැකි කෙනා හට ඔබට හසුකරගන්නට නොහැකි මට්ටමෙන් ඵලය විග්‍රහ කර දෙන්නට හැකිවා සේම ඒ ඵලයට හේතුවත් අති සියුම් මට්ටමින් විග්‍රහ කර දෙන්නට හැකිවෙනවා. 

එහෙනම් දැන් කව්රු එක එක ජාතියෙන් මොන මොනවා කිව්වත්... ඔබට පිළිතුරක් සොයාගන්නට අවශ්‍ය කරන ප්‍රශ්ණයක් තියෙනවා.  ඒ ප්‍රශ්ණයට හේතුවක් තියෙනවා.  ඒ ප්‍රශ්ණයත් ප්‍රශ්ණයට හේතුවත් ඔබට හඳුනාගන්නට නොහැකි වූ මට්ටමකට විග්‍රහ විය යුතුයි. 

කුමන කුමන ආකරයෙන් හෝ වේවා කුමන කුමන භාෂාවකින් හෝ වේවා කුමන කුමන ශෛලියකින් හෝ වේවා ඵලයත් ඒ ඵලයට හේතුවත් ඔබ පෙර නොඇසූ විරූ පරිදි විග්‍රහ වෙනවද නැත්ද කියලා විමසා බලන්නට හැකියාවක් ඔබ සතුව පවතිනවාද නැත්ද?

එසේ නම් යමක් අසාගන්නා විට... කියවන විට... ඇසුරු කරන විට ඔබ තුල තිබිය යුත්තේ ඒ දේශනාව තුල ඒ විග්‍රහය තුල ප්‍රශ්ණයත් ප්‍රශ්ණයට හේතුවත් ඔබට හසු කරගන්නට නොහැකිවූ මට්ටමකින් විග්‍රහ වෙනවාදැයි විමසා බලන විමර්ශන ප්‍රඥාවක් ඔබ තුල තිබිය යුතුයි.