කොහොමද ගලපන්නේ?

  01 පෙබරවාරි 2013

හොඳයි දැන් කොහොමද අහගන්න දහම, කියවන දහම මේ කියන සූත්‍රයට ගලපන්නේ?  එයට පොතක් ඕනද?  නෑ.  බුදු හිමියන්ගේ දහම එහෙම බාහිර කරුණු කාරණා මත යැපෙන දහමක් නොවේ. දැන් මේ සූත්‍රයේ ක්‍රමය හසුකරගත්තාම තමයි ඒ සූත්‍රය දැනගත්තා වෙන්නේ.  නැතිනම් එකින් එකට සූත්‍රය ගැන කියන්න සිහිපත් කරන්න තව කෙනෙක් පසුපස ඉන්න වෙනවා.  මේ සූත්‍රයේ සිද්ධාන්තය හසුකරගත්තාම ඒ සූත්‍රයට අනුව ප්‍රඥාවන්තව හිතන්නට හැකිවෙනවා.  ඒ ස්වභාවය තමන් තුල වර්ධනය කරගත යුතුයි.   

හොඳයි දැන් මෙහෙම විමසන්න...

ප්‍රශ්ණය තියෙන්නේ කාටද?  විසඳුම ඕන කාටද? නිවන් දකින්නට වුවමනාවක් ඇවිත් තියෙන්නේ ඇයි?  මේ විදියට මේ දහම් කියවන්නේ අහන්නේ ඇයි?  හේතුවක් තියෙන්න එපැයි නේද?  හේතුව මොකක්ද කියලා තමන්ගෙන්ම අහන්න.  ඇත්තටම නිවනක් ඕනද?  අධ්‍යයනය පිණිස දහම් හොයනවද?  අලුතෙන් දෙයක් දැනගන්න දත්ත ගබඩා කරගන්න දහම් හොයනවද?  වාද විවාදය පිණිස තර්කය පිණිස දහම් හොයනවද?  මේ සියලු දේට පිලිතුරු තමන් තුලින්ම ලැබිය යුතුයි. 

තමන්වම විමසන්න... තමන්වම විමසන්න...

හොඳයි උදාහරණයක් වශයෙන්  නිවන් අවබෝධය පිණිසම දහම් විමසන කෙනෙක් තුල ඇතිවිය යුතු මූලිකම කරුණු ඔස්සේ මෙතැන් පටන්ගෙන විමසීමක් කරමු.  මේ සටහන පටන්ගන්නකොට ආරම්භයේදීම කිව්ව තමන් තුලින් විමසන ස්වභාවය අනුව... තමන් තුල හඳුනාගත්ත දේ අනුව දහම් විමසන ආකාරය විමසා බලමු.