ප්‍රඥාවන්තව විමසන්න!

  01 පෙබරවාරි 2013

දැනටමත් ප්‍රශ්ණය හෙවත් ඵලය අඩුවක් නැතිව දන්නවා නම් අවබෝධ කරගත්ත කෙනෙක්ගේ සහ අවබෝධ කරනොගත්ත කෙනෙක්ගේ වෙනසක් තියේවිද? දැනටමත් ප්‍රශ්ණයට හේතුව දන්නවා නම් අවබෝධ කරගත්ත කෙනෙක්ගේ සහ අවබෝධ කරනොගත්ත කෙනෙක්ගේ වෙනසක් තියේවිද? 

එහෙනම් හේතු ඵල දහම අවබෝධ කරගත්ත පිරිස විශේෂ වෙනවද?  සූත්‍රය අවබෝධ කරගත්ත පිරිස විශේෂ වෙනවද?  විනය අවබෝධ කරගත්ත පිරිස විශේෂ වෙනවද?  මෙය තනිවම කරගන්නට හැකි නම් කවදාවත් සම්මා සම්බුදු කෙනෙක් ලෝකයට පහල වෙන්නට අවශ්‍ය වෙනවද? 

තවත් කෙනෙක්ගෙන් අසා දැනගන්නට යමක් නොවේ නම් ආර්ය කළණ වැටක් අවශ්‍ය වෙනවද?  එය එසේ වුවහොත් හැමකල්හිම පසේ බුදු වරුන් පහණක් පහල වෙනවා නොවේද?

ප්‍රශ්ණය ඔබ හිතනවාට වඩා දරුණුයි.  තීන්දු තීරණ ගන්නා විට බැලූ බැල්මට නිවැරදියි කියලා තමයි හිතෙන්නේ.  එහෙත් කව්රු කොහොම කෙසේ කිව්වත් තමන්ටම මේ දහම කුමක්ද අදහම කුමක්දැයි ඥානය පහල කරගන්නට හැකි ක්‍රමවේදයක් තිබෙනවා.  එය එසේ වන විට බිය විය යුත්තේ බණ අහන්නට නොව තනිවම මේ දහම් සොයන්නට තීරණයක් ගැනීමටයි. මන්ද එය එසේ වන නිසා තමයි මිත්‍යා විමුක්තියන්ට පත්ව සම්මා විමුක්තිය යැයි රැවටී තමන්ට වැටහෙන තමන් දන්නා දේකම අතරමං වෙලා පැවැත්මටම හිර වෙලා තමනුත් නොදැනුවත්ම අනතුරට පත්වෙන්නේ. 

එවැනි පිරිස් තමයි තමන්ට ඕනෑ දෙයක්ම අහන අයගෙනුත් අසාගන්නේ.  කියවන දේ තුලත් තමන්ට ඕනෑ දෙයක්ම කියවා වටහාගන්නේ.  පෙර නොඇසූ විරූ දහම් මාත්‍රයක්වත් ඒ තුල යෙදෙන්නේ නෑ.  එය පෙන්වා දෙන විට විමසා බලන්නට තමන්ව හරි හැටි හඳුනාගෙනත් නෑ.  නිගමනයන්ට පත්වෙලා අවසානයි!  මේ ආකාරයට මෙච්චර කාලයක් බුද්ධ ශාසන කීයක් නම් මඟ හැරුණද?  බුදුවරුන් කීයක් නම් මඟ හැරුණද?  අරිහතුන්වහන්සේලා මග ඵල ලාභීන් කීයක් නම් මඟ හැරුණද?  ඒත් තවමත් පුරුද්ද අතහැරගන්නට තරම් ප්‍රඥාව යෙදෙන්නේම නැති නම් ඒ ආකාරයටම මේ අවස්ථාවත් මඟ හැරී යාවි. 

එහෙනම් ආගම් භේදයක්, ජාති භේදයක්, කුලමල තත්ව තානාන්තර භේදයක් නෑ.  සැබෑම මනුස්සයෙක් වශයෙන් යම් ධර්ම විග්‍රහයක් තුල රාගය ක්ෂය කරගන්නට උපකාර නොවන, ද්වේශය ක්ෂය කරගන්නට උපකාර නොවන, මෝහය ක්ෂය කරගන්නට උපකාර නොවන දහමක් විග්‍රහ වෙනවා නම් එය බුදු හිමියන්ගේ වේශයෙන් පැමිණ කිව්වත්... දෙවියෙක් හෝ වේවා බ්‍රහ්මයෙක් හෝ වේවා බුදු හිමියන් හෝ වේවා කිව්වාය කියලා කිව්වත්... එය අනුගමනය කිරීම සුදුසුද?  නුසුදුසුද? 

තමන්ගේ විමුක්තිය පිණිස කටයුතු කරන ඔබ ගැලවීමක් සැනසීමක් සහනයක් සොයන සැබෑ සතුට අපේක්ෂා කරන ප්‍රඥාවන්ත ඔබ විසින්ම ගත යුතු තීරණයකි!  නිවැරදි තීරණ ගන්නට නිවැරදිව ධර්මය අධර්මය තෝරාගන්නට තෙරුවණේ ශක්තිය ආශිර්වාදය ඔබට නොඅඩුව ලැබේවා!