ප්‍රශ්ණය හඳුනාගත්තද?

  01 පෙබරවාරි 2013

දැන් ඉහත දේවල් තමන්ගේ සිත තුල ඇතිවන විට... තමන්ටම දැනෙන විට... ප්‍රශ්ණයක් ඇතිබව හඳුනාගන්නට හැකියි නේද?  අවුලක් ඇතිබව හඳුනාගන්නට හැකියි නේද?  මේ ප්‍රශ්ණයට විසඳුමක් සොයාගන්නට අවශ්‍යයයි නේද? 

හොඳයි එහෙනම් දැන් භික්ෂුවකගෙන් හෝ වේවා භික්ෂුණියකගෙන් හෝ වේවා උපාසකයෙක්ගෙන් හෝ වේවා උපාසිකාවකගෙන් හෝ වේවා අන්‍ය ආගමිකයෙක් යැයි සම්මත චරිතයකින් හෝ වේවා ඕනෑම කෙනෙකුගෙන් යමක් අසාගන්නා විටදී මේ ප්‍රශ්ණයට අදාලව කතා කරනවාද නැත්ද කියලා විමසා බලන්නට හැකියාවක් ඔබ සතුව පවතිනවාද නැත්ද? 

යම් පොතක් පතක් කියවන විටදී හෝ වේවා ත්‍රිපිටක පොත පත කියවන විටදී හෝ වේවා මේ අවස්ථාවේදී මේ ඇසුරු කරන “නිර්වාණ ධර්ම“ වැනි වෙබ් අඩවියකින් හෝ වේවා... මුහුණු පොතේ හෝ අන්තර්ජාල කටයුතු වලදී කියවන්නට යෙදෙන දේ තුලින් හෝ වේවා මේ කියන ඔබගේ ප්‍රශ්ණය පිළිබඳව විග්‍රහ වෙනවද නැත්ද කියන දේ සොයාගන්නට විමසා බලන්නට හැකියාවක් ඔබ සතුව පවතිනවාද නැත්ද?

එහෙනම් දැන් කව්රු එක එක ජාතියෙන් මොන මොනවා කිව්වත්... ඔබට පිළිතුරක් සොයාගන්නට අවශ්‍ය කරන ප්‍රශ්ණයක් තියෙනවා.  ඒ ප්‍රශ්ණය කුමන කුමන ආකරයෙන් හෝ වේවා කුමන කුමන භාෂාවකින් හෝ වේවා කුමන කුමන ශෛලියකින් හෝ වේවා විග්‍රහ වෙනවද නැත්ද කියලා විමසා බලන්නට හැකියාවක් ඔබ සතුව පවතිනවාද නැත්ද?

එසේ නම් යමක් අසාගන්නා විට... කියවන විට... ඇසුරු කරන විට ඔබ තුල තිබිය යුත්තේ ඔබේ ප්‍රශ්ණය විග්‍රහ වෙනවද නැත්ද යන්න විමසා බලන විමර්ශන ප්‍රඥාවක්ම බව ඔබට වැටහෙනවද?  එසේ නම් බහා බැලිය යුතු සූත්‍රයේ පලවෙනි කාරණය මේ ආකාරයට සාර්ථක වෙනවා නේද?

ප්‍රශ්ණයක් කියන්නේ මොකක්ද?  ගැටලුවක් කියන්නේ මොකක්ද?  අවුලක් කියන්නේ මොකක්ද?  ඔබ යම්කිසි හේතුවක් නිසාවෙන් හටගත්තාවූ ප්‍රතිඵලයක් භුක්ති විඳිනවා නෙවේද?  ගැටලුවක් විදියට මේ අත්දකින්නේ යමක් හේතුවෙන් සකස් වෙච්ච අවසාන ප්‍රතිඵලයක් නෙවේද? 

කව්රු හරි ඔබට ටොක්කක් අනිනවා.  ඔලුව දැන් රිදෙනවා... ගොඩක් රිදෙනවා... පුදුමාකාර වේදනාවකින් ඉන්නේ. දැන් මෙතනදී ඔබ ප්‍රශ්ණය, ගැටලුව, අවුල විදියට අත්දැක්කේ රිදෙනබව, වේදනාකාරී ස්වභාවයනේ නේද?  එහෙනම් එය ටොකුවක් ඇනීමේ හේතුවට අනුව සකස් වෙච්ච ඵලය නෙවේද? 

එහෙනම්  අප පෙර කතා කල ප්‍රශ්ණ, අසහනයන්, ගැටලුව, අවුල අන් කවරක්වත් නෙවේ “ඵලය“යි.  යම් හේතුවක් නිසා අපට අත්දකින්නට සිද්ධවෙන අවසාන ප්‍රතිඵලයයි.