ප්‍රශ්ණය හෙවත් ඵලය විග්‍රහ වීම

  01 පෙබරවාරි 2013

දැන් මේ ඵලයේ අපට බැලූ බැල්මට හසුකරගන්නට හැකි මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ අප ප්‍රශ්ණයක් විදියට අත්දකින ඵලයේ මට්ටම, විහින්ම අත්දැකීමෙන් දන්න මට්ටමක් තියෙනවා.  ඒ ටික දැනගන්න අපට වෙන කෙනෙක් ඕනද?  ඒ ටික දැනටමත් දන්නවානේ.  ඒත් ඒ මතුපිටින් පෙනෙන මට්ටමේ පටන්ගෙන පෙර නොඇසූ විරූ මට්ටමක් දක්වා මේ ඵලය විග්‍රහ වෙනවා නම් අන්න ඒ සියල්ල දත් මහා ප්‍රඥායාණන්වහන්සේ කෙනෙක්ගේ දහමක් නොවේද? 

අපි දන්න ටිකම නම් බුදු හිමියනුත් දන්නේ බුදු හිමියන්ගෙයි අපෙයි වෙනසක් තියෙනවද?  නෑනේ.  බුදු කෙනෙක් ලෝකයට පහල වෙනකම් කිසිම සත්වයෙකුට හසුකරගන්නට නොහැකි ආකාරයේ දහමක් තියෙනවා.  බුදු කෙනෙක් මතු කරලා බෙදලා විග්‍රහ කරලා පෙන්නලා දෙනකම් අප ප්‍රශ්ණයක් සේ දකින, ගැටලුවක් සේ හඳුනන, ඵලය ලෙසින් අත්දකින ස්වභාවයේ අපට හසුකරගන්නට නොහැකි මට්ටමක් තියෙනවා.  අන්න ඒ මට්ටම අප අහන හෝ දේශනාවක විග්‍රහ විය යුතුයි. 

ඒ කියන්නේ තමන්ගේ සිතේ මේ ඇතිවන ප්‍රශ්ණය කොතරම් සියුම් අවස්ථාවක් දක්වා ක්‍රියාත්මක වෙනවාදැයි විග්‍රහ විය යුතුයි.  එය එසේමදැයි එවිට තමන්ටම ඥානයෙන් විමසා බලාගන්නට හැකි වෙන්නේ තමන්ගේ ප්‍රශ්ණයේ තමන්ට හසුවන මට්ටමේ පටන්ගෙන, තනිවම හසුකරගන්නට නොහැකි මට්ටමක් දක්වා විග්‍රහ කරන නිසාමයි. 

දන්න දේම දැනගෙන නතර වෙන දහමක් නෙවේ බුදු හිමියන්ගේ දහම.  මතක් කරගන්න ඉපදුන ගමන් කුඩා දරුවෙකුගේ අවස්ථාව.  මේ කියන දැවීම අසහනය ප්‍රශ්ණය නම් වූ “ඵලය“ ඒ කුඩා දරුවාට තිබුනේ නෑ. ඒ දරුවා අත්දැක්කේ කායික වූ මට්ටමකින් මේ ඵලය ක්‍රියාත්මක වන ආකාරය පමණයි.  ඒ කියන්නේ බඩගින්න, සීත උෂ්ණ කියන්නාවූ කායික මට්ටමකින් අත්දකින්නට සිද්ධ වෙන “ඵලය“.  ඒ දරුවාට ඔබ මේ අවස්ථාවක් වන විට සිතේ අත්දකින රාග ද්වේශ මෝහ කියන්නාවූ මට්ටම හඳුනාගන්නට ශක්තියක්වත් ඒවායේ නැගීමක්වත් ඵලයක් ලෙසින් අත්දකින්නට යෙදුනේ නෑ.  එහෙත් ඒ සියලු දැවීම් අසහනයන් නැගෙන්නට හේතු ඒ කුඩා දරුවාගේ සිත තුල සකස්වෙන්නට හේතු තිබුන නිසා තමයි වයසත් සමඟ ක්‍රම ක්‍රමයෙන් ඒ සිත ඔබට දැනෙන මේ ප්‍රශ්ණය හෙවත් ඵලය දක්වා කිලිටි වුනා... එහෙම නේද? 

එහෙනම් දන්න ප්‍රශ්ණ ටික විසඳෙන තරමින් මේ ප්‍රශ්ණය විග්‍රහ වෙලා හරියන්නේ නෑ.  ඔබ අසන දහම තුල කියවන දහම තුල ඔබ නොදන්නා ඔබට හසුකරගන්නට නොහැකි මට්ටමෙන් මේ ප්‍රශ්ණය ඔඩු දුවා ඇති ආකාරය... නිදන්ගත රෝගයක් වී ඇති ආකාරය විග්‍රහ විය යුතුයි.  මේ ඵලයේ අති සියුම් අවස්ථාවට යනතෙක් ඵලය නිසි අයුරින් විග්‍රහ විය යුතුයි. 

බුදු හිමියන්ගේ දහමින් නිසි ඵල නෙලාගන්නට නම් මේ මට්ටමින් ප්‍රශ්ණය හඳුනාගන්නට තරම් විමසා බැලීමේ හැකියාවක්  ප්‍රඥාවක් ඔබ සතුව පැවතිය යුතුයි.  එසේ නොවුනහොත් දන්න මට්ටමින්ම ප්‍රශ්ණය හඳුනාගෙන නවතිනවා මිසක්... ප්‍රශ්ණයේ ඔබ නොදුටු ප්‍රශ්ණය හසුකරගන්නට... ඵලයේ ඔබ නොදුටු ඵලය හසුකරගන්නට... පෙර නොඇසූ විරූ දහම හඳුනාගන්නට නොහැකි වෙනවා.   

එහෙනම් අහන කියවන දේ තුල දන්නා දේ ඉක්මවා ප්‍රශ්ණයට අදාලව තමන් නොදන්නා යමක් විග්‍රහ වෙනවාද නැත්ද කියන විමර්ශණය කල යුතුයි.  ඒ නිසා ප්‍රඥාවන්තව දහම් විමසන්නට නම් ඔන්න සූත්‍රයේ පලමු කාරණය වන “ඵලය“ මේ ආකාරයට විග්‍රහ වෙනවාදැයි සූත්‍රයට සසඳා බැලිය යුතුයි.