මඩෙන් විමුක්ත වූ නෙළුම් මල!

  16 පෙබරවාරි 2017

මඩෙන් විමුක්ත වූ නෙළුම් මල! Copyright Claims

මෙතෙක් කාලයක් අනන්ත සසරක් සකස් වුනේම මේ වැඩපිලිවෙල නිසානේ කියලා අවබෝධයක්මයි ලැබෙන්නේ... රූපයේ ඇත්ත දැක සිටියා නම් පැවැත්මක් සැකසෙන්නේ නැති බවමයි අවබෝධ වෙන්නේ... එසේනම් මේ විපාක ඵලයක් ලෙසින් ලැබූ මඩ ගොහුරුව පංචස්කන්ධයේ යථාභූත ඥාන දර්ශනය පහල නොවූ නිසාම ලැබූවක් බව අවබෝධ වෙනවා...

හරියට මඩෙන්ම ඉපදී මඩෙන්ම පෝෂණය වී මඩ ගා ගන්නේ නැතිව පිරිසිදුව පිවිතුරුව දසත සුවඳවත් කරන නෙළුම් මලක් සේ, මඩ ගොහුරුව විදසුන් වැඩීම ඇරඹෙනවා... ඒ මඩ ගොහුරුවම විදලා බලනවා... විවිධ අයුරින් එහි ඇත්ත නුවණින් දැකගන්නවා... මේ විදසුන් වඩන අරි අටඟි මඟ වඩන කාලය හරියට පිපෙන්නට සූදානම් වූ නෙළුම් පොහොට්ටුවක් වාගේමයි...

පෙර නොඇසූ විරූ ඉඳුරන් පහල වීම...

මේ දහම දැකගන්නට මායාවේම ඵලයක් ලෙසින් ලැබූ ඇස, කණ, දිව, නාසය, කය කියන පංච ඉන්ද්‍රීයයන් තුලින් නොහැකි බවම අවබෝධ වෙනවා...  ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නාවූ ඉන්ද්‍රීය පහක් මේ වෙනුවෙන් අවශ්‍ය බව බුදු හිමියන් පැවසූවේ ඇයි දැයි අවබෝධ වෙනවා... මොහොතක් පාසා ලැබෙන්නේද වැඩෙන්නේද නැගෙන්න්ම ඒ ඉන්ද්‍රීයයන්මයි කියලා දැනෙනවා...  ඒ පංච මායා බලය පසාරු කරන්නට මහා පංච බලයක්ම නැඟෙනවා... නැඟෙන බව දැනෙනවා...

හොරු අල්ලන හොරා...

මායාව විඳින්නට සකස් වූ මනසිකාරය එවිට සොරු අල්ලා දෙන සොරෙක්ම සේ යෝනිසෝ මනසිකාරය නමින් පෙනී සිටින්නට පටන්ගන්න බව දැනෙනවා...   හරියට උසාවියේ නියෝගයක් දෙනවා දඬුවම අවම කරන්නම්... නීතියෙන් නිදහස් කරන්නම් අනෙක් හොරු ටික අල්ලා දෙනවා නම් කියලා අල්ලාගත්ත එක හොරෙකුට කියනවා වගේ... සිත එතෙක් කල වංචාව අවබෝධ වෙනවා... 

“සබ්බේ ධම්මා අනත්තාති“ අවබෝධය ප්‍රත්‍යක්ෂ වන ක්ෂණයක් පාසා මේ සොරු අල්ලන්නේද සොරෙක්මය යන අවබෝධය, සිහිය නිසාම එයද අතහැරීම සාමාන්‍ය දෙයක්බවට පත්වෙනවා... දහම් ඔරුව කරේ තියාගෙන යන්නේ නැතිව එගොඩ වූ පසු අතහැරෙන්නේ එහෙමයි...  මේ දහම් මඟ කිසිවක් බලහත්කාරයෙන් ආයාසයෙන් කරන්නට නොමැතිබවම වැටහෙනවා...

මේ සියලු විදසුන් වැඩෙන්නේ අරමුණක් පාසාම බව අවබෝධ වෙනවා... ඒ ඒ අරමුණ හමුවේම ඇත්ත නොදන්නා ස්වභාවය නිසාම ඒ ඒ තැනට හා වීම හෙවත් තණ්හාව උපදින බව, එහිම පවතින බව දකිනවා... එසේ නම් අවබෝධය ක්‍රියාත්මකවන්නේ නම් ඒ අරමුණ හමුවේදීම ඒ තණ්හාවේ නිරෝධයත් සිදුවන බව වැටහෙනවා... කාම භවයේ කාම රූප වේවා... රූප භවයේ රූප දැහැන් රූප වේවා... අරූප භවයේ අරූප දැහැන් රූප හමුවේ වේවා ඒ සෑම අරමුණකම තණ්හාව සකස් වීම පිරිසිඳ දකිනවා... නිරෝධය සිදුවෙනවා...

තුන්ලෝකයම ආයාසයකින් තොරවම අතහැරී මිදී නොඇලී යන බව ක්ෂණයක් පාසා අත්දැකගන්නටම ලැබේවි! 

ධර්මය අධර්මය නිසි මඟ පෑදේවා!

විනයම අවිනයමය නිසි ලෙස දැනේවා!

තෙරුවණ බලය නිති රැකවරණය වේවා!

සදහම් ඇසම පෑදි ලොව දකීවා!