අන්ධ පුද්ගලයා දුටු සුදු වර්ණය

  18 නොවැම්බර් 2015

වර්ණ කුමක්දැයි හඳුනාගන්නට නොහැ.කි... සඳ හිරු තාරකා ගැන අදහසක්වත් නැති උපතින්ම අන්ධවූවෙකුට, දිනක් මෙන්න මෙසේ අසන්නට ලැබෙනවා.  "සුදු වර්ණයෙන් යුතු වස්ත්‍රය ඉතාමත් ප්‍රසන්නයි... අලංකාරයි... පිරිසිදුයි... නිර්මලයි".  එවැන්නක් ඇසූ දිනයේ පටන්ගෙන මේ අන්ධ පුද්ගලයා සුදු වර්ණය කුමක්දැයි පර්යේෂණය කරන්නට පටනගන්නවා. 

ඔබ දන්නවනේ අන්ධ පුද්ගලයන් ස්පර්ශ කරලා හැමෝගෙන්ම අහලා දැනගෙන ඔවුනට හැකි ආකාරයෙන් උපරිමයෙන් පර්යේෂණය කරලා ඒ පිළිබඳව අදහසක් ගන්නට උත්සාහ කරනවා කියලා... එහෙම නේද?

ඉතින් මේ විදියට සුදු වර්ණය හඳුනාගන්නට උත්සාහ කරන අන්ධ පුද්ගලයාව රවටන අදහසින් දිනක් එක්තරා පුද්ගලයෙක් කිළුටුවූ දැලි කුණු තැවරී අඳුරු පැහැ ගැන්වූ කුණු රෙද්දක් මේ අන්ධ පුද්ගලයාට පොරවා මෙන්න මෙහෙම කියනවා. 

"ඔන්න, ඔයාට මම සුදු පාට රෙද්දක් පෙරෙව්වා.  හරිම පිරිසිදුයි... අලංකාරයි... ප්‍රසන්නයි... නිර්මලයි..." 

දැන් මේ අන්ධ මනුස්සයාට හරිම සතුටුයි.  එයා අර පුද්ගලයා කිව්ව දේ හිස් මුදුනෙන්ම බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිගත්තා.  ඔහුට පෙරවූ රෙදි කඩ අතගාමින් ස්පර්ශය ලබමින් තමන් පිරිසිදු, අලංකාර සුදු වර්ණ රෙදි කඩක් ලැබුවා යැයි සැනසෙමින් සතුටු වෙනවා.  ඒත් ඒ අන්ධ පුද්ගලයා එසේ සතුටු වුණේ සුදු වර්ණය දැකලා නෙවේ නේද? ඔහුට එසේ සතුටක් සැනසීමක් දැනුනේ තවත් කෙනෙක් කිවූ දෙයක් බොහෝ ශ්‍රද්ධාවකින් භක්තියකින් පිළිගත්ත නිසා නේද?