අසරණකම දුටුවාද?

  18 නොවැම්බර් 2015

කණ්ණාඩිය ඉදිරිපිටදී හැඩ වැඩ බලන ඔබ මොහොතකට ඒ මානසිකත්වයෙන් මිදී බලන්න ඔබගේ මුහුණු දිහා... ඔබ කොතරම් වෙහෙසකින් දුකකින් හෙම්බත්භාවයෙන් සිටිනවාදැයි ඔබටම දැකගන්නට හැකිවේවි!!!

නිතරම රෝගයක් ගැන හිතමින් රෝගයකට ජීවිතයේ මුල් තැන දී තිබෙන ඔබට ඔබ ගැනම අනුකම්පා හිතෙන්නේ නැතිද?  නිතරම බෙහෙතක් ගැන හිතමින් නොදන්නා වෛද්‍යවරුන් ගැන හිතමින් රෝගය සුවවේදෝ නොවේදෝ යැයි කම්පා වෙමින්... අනේ මාව කෙසේ මැරේදෝයි බියෙන්... 

ඔබ ඇත්තටම කොතරම් අසරණද?  ඔබට ඔබ ගැන සතුටු විය හැකිද? 

අනන්ත සසරක් කෙටි වී ඇති බව දැනගෙන දැකගෙන අවංකවම සතුටු වෙන්නට තරම් හැකියාවක් ඔබට තියෙනවාද?  මරණය දුක්ඛිත වුවත් නැතත්

එයට බිය නැතිව මුහුණ දෙන්නට හැකි ශක්තිමත් හිතක් මට තියෙනවා යැයි සතුටු වෙන්නට හැකිද?  නැවත මොන ආකාරයේ කායික රෝගයක් ලැබුණත් නීරෝගී මනසක් මට තියෙනවා යැයි සතුටු වෙන්නට ඔබට හැකිද? 

එසේ සතුටක් අහලකවත් නොමැති නම්, "අනේ, මට පින් මදි ඕවා කරගන්නටැයි" කියා හෝ තවත් නම් කල් දමාගන්නේ නැතිව දැන්වත් තීරණයක් ගන්නට වෙහෙසුනොත් නේද හොඳ???  

ඔබට පින් මදි යැයි ස්ථිර කලාවූ සහතික ලබාදෙන්නට තරම් ජගතෙක් මේ වන විට මේ තුන් ලෝකයේවත් නෑ.  හොඳින් යමක් විමසා බලන්නට හැකි මානසිකත්වයක් ඇති මන්දමානසික තත්වයක කෙනෙක් නෙවේ නම් අනේ ඔබට ඕනෑවටත් වඩා පින් ඇති බව නුවණින් දැකගෙන ඉක්මන් වන්න!