ඇත්තටම මනසින් උසස්ද?

  18 නොවැම්බර් 2015

මරණය මොහොතකට කල්දමාගන්නට ඔතරම් උත්සාහයක් ගෙන හතිදමාගෙන දුවනා ඔබ, සඳහටම මරණයෙන් මිදෙන්නට හැකි, සඳහටම සියලුම ආකාරයේ රෝගයන්ගෙන් මිදෙන්නට හැකි, මේ ජීවිත කාලයේදීම ඒ ප්‍රථිඵලයන් අත්දැකිය හැකි ඒ නිවන් මාර්ගය පූර්ණය කරගන්නට කැපවීම වීර්යය පළමුකොට තබා සිටින්නෙක්ද? 

99%ක් කෙසේ වෙතත් 50%ක්වත්, නිවීම පිණිස කටයුතු කරගන්නෙක්ද?  

ලෞකික කටයුතු සාර්ථක කරගැනීම පිණිස කරගෙන යන්නාවූ කටයුතු සඳහා 50%ක් හෝ ඉන් අඩු ප්‍රමාණයක් ලෙසින්වත් වෙන්කරගෙන නිවීම මුල් කරගෙන සිටින්නෙක්ද?

ඔබගෙන්ම අසන්න!  කාටවත් උත්තර දෙන්නට අවශ්‍ය නෑ ඔබ ඔබටම අවංක වෙලා පිළිතුරක් ලබාදෙන්න! 

අනේ, අති දුර්ලභ මිනිස් ජීවිතයක් ලබා ඇති ඔබට ඔය මිනිස් ජීවිතය පාවිච්චි කරලා කරන්නට තියෙන්නේ ඔය හෙම්බත්වීම පමණක්මද? 

"මනසින් උසස් වූ හෙයින් මනුස්සයෙක්!" යැයි පුරසාරම් දොඩනා උසස් මානසිකත්වය යනු ඔවැන්නක් කරන තත්වයක්ද? 

සතුන් පවා ලෙඩ වෙනවා... කයක් උරුම කරගත්තා නම් ඒ කය කැඩෙන බිඳෙන විනාශ වන ස්වභාවයෙන් යුක්ත බව තේරුම් ගන්නට ඔබට දැනටමත් ලැබී ඇති අත්දැකීම් මදිද? 

මොහොතකින් මේ කය කෑලි කෑලි වලට කැඩී යන්නට පුළුවන්... මේ මොහොතේ පවා කය ඇතුලේ පිලිකාවක් හැදෙන්නට පුළුවන්ද, අභ්‍යන්තර අවයව දුර්වල වෙන්නට පුළුවන්ද? ක්‍රම ක්‍රමයෙන් රෝගී තත්වයන් සකස් වෙන්නට පුළුවන්?  ඒවා කලින් දැනගත්තා කියලා... ප්‍රතිකර්ම යොදාගත්තා කියලා... කාලය ධනය ශ්‍රමය ඉවර කරගත්තා කියලා... නොමැරී ඉන්නට ඔබට පුළුවන්ද? 

ඇයි මොහොතකට හෝ ඔබට අනිවාර්යෙන්ම මුහුණ දෙන්නට සිද්ධ වෙන යථාර්ථය මෙනෙහි කරන්නට ඔතරම් බය?  ඔබගෙන්ම අහන්න!  උසස් මානසිකත්වයක් කියන්නේ ඔය අසරණකමටද?