ඔබ අසරණ නොවේවි!

  18 නොවැම්බර් 2015

නොහැකියාවෙන් යුතු නාකි මහල්ලෙක්, නිවැරදි රෝගය හඳුනා නොගෙන වැරදි රෝගයකට බෙහෙත් කරන අසාධ්‍ය රෝගියෙක්, මරණයෙන් මිදෙන වැඩපිලිවෙල පසෙකලා නැවත නැවත මරණය උරුම වන වැඩපිලිවෙලම සිදුකරගෙන යන්නාවූ ඇවිදින මල මිනියක් සේ... ජිවිතය ගත නොකරන්නට නම් ප්‍රඥාවන්තව සිතන්න! 

ඔබ තවමත් ප්‍රමාද නැති බව දැනගන්න! 

ඔබට මේ වෙනුවෙන් පින් බොහෝ සේ ප්‍රමාණවත්ව ඇති බව නුවණින් දැකගන්න!

කෑමක් බීමක් ලබාගන්නට දඟලන දැගලිල්ල

සත්ධර්මය ලබාගන්නට දැඟලුවා නම්...

වෛද්‍යවරයෙක් කියනා දේ අකුරට පිළිපදින්නට දරන විරිය

බුදු හිමියන් කියූ දේ අසා පිළිපදින්නට දැරුවා නම්...

තව කෙනෙක් පහත හෙලන්නට දරන වෑයම

තමන්ව ආගාධයට පත්වීම වළකාගන්නට දැරුවා නම්...

රාග ද්වේශ මෝහයන් රජකරවන්නට දරන වෑයම ඒවා නිවාගන්නට දැරුවා නම්...

සුවබර දිවියක් පතමින් යදින යැදිල්ලට වැය කරන කාලය

සියලු දුක් කෙලවර කරගැනීම පිණිස යෙදුවූවා නම්...

අංශු මාත්‍ර තරමින් හෝ අනතුර අඟවන්නවුන්ගේ

වැරදි සොයන්නට අඩුපාඩු දකින්නට යොදන කාලය

අංශු මාත්‍රයක් තරමින්වත් ධර්මයක් නොපිහිටවූ තම සිත දැකගන්නට යෙදවූවා නම්...

බාහිර ලෝකයක් වෙනස් කරමින් පතනා සුවය තමන් තුලම සැඟව ඇති බව දුටුවා නම්...

අති දුර්ලභ මිනිස් අත්බැවයක් ලබා ඇති ඔබට

ඔවැනි විනාශයක් නොවේවි!

සිතට වහල් නොවන්න... ධර්මයට අනුව සිතන්න...

අනුන්ව නොව තමන්ව සොයන්න...

නිවීම ලැබෙනවා නියතයි!