කාමයට ඇති කැමැත්ත

  18 නොවැම්බර් 2015

පංච කාම ආශ්වාදයම සුවකරගත යුතුබව සත්ධර්මය තුල නිතරම කියැවෙනවා.  ඇසට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ

ලබමින් පංච කාම ආශ්වාදයන් විඳින්නට අපට  හුරු වී සිටිනවා.  මේ වින්දන වැඩපිලිවෙල සාර්ථකව කරගන්නට තමයි අප කායික වශයෙනුත් නීරෝගීව ඉන්නට කැමැත්තක් දක්වන්නේ එහෙම නේද? 

කායිකව රෝගී වනවා කියන්නේ අපට මේ ආශ්වාද ලබන වැඩපිලිවෙල සාර්ථක කරගන්නට නොහැකි වෙනවා.  කය දුර්වල වුණාම මේ පංච කාම වැඩපිලිවෙලම ඇණ හිටින නිසා රෝගී වෙලා එකතැන් වන්නට දුර්වල වන්නට අපේ හිත අපට ඉඩ දෙන්නේ නෑ.  අහිමි වන කම් සුවයමයි සිහිපත් වෙන්නේ.  එහෙම නේද? 

ඉතින් බුදු හිමියන් විසින් විටෙක පෙන්වා දෙනවා කාමය දුරු නොකල, කැමැත්ත දුරු නොකල, ප්‍රේමය දුරු නොකල, ආශ්වාදයට පිපාසාවෙන් පෙළෙන, තණ්හාව දුරු නොකල, පුද්ගලයා රෝගයක් දරාගෙන සිටිනවා වගේය කියලා. 

එවැනි පුද්ගලයන්ට තමන්ගේ කය හරිම ප්‍රියයි... ඒ නිසා එවැන්නවුන්ට "මේ කය මා හැර ගියොත්" යැයි සිතමින් කයට සිදුවන හානිය ආදිය පිළිබඳව බොහෝ කම්පාවක් සිතට දැනෙනවා... ඒ කම්පාව ක්ලාන්තය ඇති කිරීමට තරම්... පපුවේ අත්ගසමින් හඬනට තරම් ප්‍රබල කම්පාවක් බව පෙන්වා දෙනවා... එය මරණයට සමාන භියක් ගෙන දෙන්නක් බව ධර්මය තුල පෙන්වා දෙනවා.