කම්පනය රෝගයකි!

  18 නොවැම්බර් 2015

රූප අරමුණක් පාසා, ශබ්ද අරමුණක් පාසා, ගන්ධ - රස - ස්පර්ශ අරමුණක් පාසා සිත කම්පනය වෙනවා නේද?  ප්‍රිය - අප්‍රිය ස්වභාවයන් දැනෙනවා... හොඳ - නරක ස්වභාවයක් දැනෙනවා... කැමැත්තක් - අකමැත්තක් හටගන්නවා...

"මට ලාභයක්ය - මට අලාභයක්ය, මට සැපයක්ය - මට දුකක්ය, මට වස්තුව ලැබුණාය (යසසක්ය) - මට වස්තුව නැතිවුණාය (අයසක්ය), මට නින්දාවක්ය - මට ප්‍රශංසාවක්ය..." ආදී වශයෙන් අට ලෝ දහමට කම්පා වෙනවා කියන්නේත් මේ රෝගී තත්වයම තමයි. 

තවත් විමසා බලන්න... ඔබට රෝගයක් හටගත් විට ඔබගේ හැඟීම් කෙසේද?  "මට මින් පෙර මෙවැනි රෝගයක් තිබුනේ නෑ.  මගේ කය හොඳින් තිබුණා.  පෙර තිබූ කයේ ආබාධ තිබුනේ නෑ... වේදනා තිබුනේ නෑ... එහෙනම් නැවත මා හැකි ඉක්මනින් ඒ පෙර තිබූ කය ලබාගත යුතුයි... මේ රෝගයෙන් මිදිය යුතුයි...

හිතලා බලන්න මෙන්න මේ හැඟීම නිසාම... මෙන්න මේ අදහස නිසාම කොතරම් නම් කම්පනයකට ඔබ පත්වෙනවාද?  ඔබට පෙර තිබූ "රෝගයන්ගෙන් තොර" කායික තත්වය නැවත ලැබෙන තුරු ඔබේ සිත දැවෙනවා... මට මීට වඩා හොඳ තත්වයක් තිබුණාය... ඒ හොඳ තත්වය නැවත ලැබිය යුතුයැයි හැඟෙනවා.  ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා.  නොලැබෙන තාක් අසහනයෙන් දුකෙන් බියෙන් දුක් රැසක් සහිතව පීඩා විඳිනවා. කම්පා වෙනවා.

කලින් තිබූ නීරෝගී කය ලාභයක් සේ දකිනවා... දැන් තියෙන රෝගී කය අලාභයක් සේ දකිනවා... ලාභය අලාභය හමුවේ කම්පා වෙනවා.  කලින් තිබූ නීරෝගී කය සැපයක් සේ දකිනවා... දැන් තියෙන රෝගී කය දුකක් සේ දකිනවා... සැප දුක හමුවේ කම්පා වෙනවා.  කලින් තිබූ නීරෝගී කය යසසක් සේ / වස්තුවක් සේ දකිනවා...දැන් තියෙන රෝගී කය අයසක් / වස්තුව නැතිවීමක් සේ දකිනවා... යස අයස හමුවේ කම්පා වෙනවා.  කලින් තිබූ නීරෝගී කය ප්‍රශංසා සහගත බව දකිනවා... දැන් තිබෙන රෝගී කය නින්දා කටයුතු බව දකිනවා... නින්දා ප්‍රශංසා හමුවේ කම්පා වෙනවා...