කව්රුන් උදෙසාද?

  18 නොවැම්බර් 2015

කායික රෝගාබාධයන් බහුලව පවතිනවා යැයි විශ්වාස කරන මෙවන් වූ කාලයක බහුලවම කතා බහට ලක්වන මාතෘකාවද නීරෝගිබවයි.  නීරෝගීභාවය ලැබීම පිණිස කල යුත්තක් වේද ඒ දෙය සිදුකිරීම පිණිස පූර්ණ කාලය යොදවන්නට අප බොහෝ උනන්දු වනවා, එහෙම නේද? 

හිසෙන් පටන්ගත් විට පාදාන්තය දක්වාම රෝග වලින් බහුල කයකට අප සැමදෙනාම උරුමකම් කියනවා.  ආගම දහම කුමක් වුවත්... ජාතිය කුලය මලය කුමක් වුවත්... තත්ව තානාන්තරය කුමක් වුවත්... වයස කුමක් වුවත්... ගැහැණියක් වුවත් පිරිමියෙක් වුවත්... කෙටියෙන් කියනවා නම් සතෙක් වුණත් කුමන ආකාරයක හෝ රෝගාබාධයකින් පෙලෙන්නට ඕනෑම කෙනෙකුට සිද්ධ වෙනවා. 

හිසට රෝග කොතරම්ද?  ඇස, කණ, දිව, නාසය, දත්, කම්මුල්, මොළය, කෙස්, හිස් කබල ආදී හිසට සම්බන්ධ සෑම අවයවකටම ඇතිවන රෝගාබාධයන් කොතරම්ද?  හිස්හොරි වලින් පටනගත් කල හිසරදයෙන් පටන්ගත් කල හිසේ හටගන්නා පිළිකාවක් හෝ වේවා මෙනින්ජයිටිස් වැනි රෝගාබාධායන් දක්වාම හිසට ඇතිවන රෝග මෙතෙකැයි කියන්නට නොහැකියි.  යම්තාක් තම හිසේ රෝගාබාධායන් තිබෙනවා යැයි සිතන්නාවූ සැමට හිසේ නිරෝගීබව ලැබගැනීම පිණිස මේ විග්‍රහය උපකාරයක්ම වේවි.

සෙම රෝග, වාත රෝග, පිත රෝග කියන්නාවූ තුන් දොස් කිපීමෙන් ඇතිවන ලෙඩ කොතරම්ද?  කැස්ස, ඇඳුම, පීනසය, ක්ෂය රෝගය, රක්තවාතය, ගෑස්ට්‍රයිටිස් නම් වශයෙන් ලියන්නට ගියහොත් ලියා අවසන් කරන්නට නොහැකි තරම් රෝගාබාධායන් මේ වන ලෝකය පුරාම තිබෙනවා. 

විවිධාකාර උණ වර්ග, දියවැඩියාව, අජීර්ණ රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, පෙනහළු ආශ්‍රිත රෝග, හෘදයේ රෝග, පිළිකා... කෙටියෙන් කියනවා නම් හිසේ සිට පාදාන්තය දක්වාම පිටත සමේ පටන්ගෙන ඇතුලත ලේ මස් නහර ඇට මිදුලු දක්වාම හටගන්නා වූ විවිධාකාර රෝග තිබෙනවා.  මේ සියලු ආකාරයේ රෝගාබාධයන්ගෙන් විවිධාකාර මට්ටමෙන් පීඩාවට පත්ව සිටින ඔබ වෙනුවෙන් මේ විග්‍රහය උපකාරයක් වේවි. 

නීරෝගීබව ප්‍රාර්ථනා කරන්නාවූ, නීරෝගීභාවය වෙනුවෙන් කැපවී සිටින්නාවූ, නීරෝගී සුවය වෙනුවෙන් දිවා රෑ වෙහෙස වෙන්නාවූ නිරෝගී යැයි සිතන්නාවූ සැමටත්, මේ වන විට විවිධාකාර රෝගාබාධයන්ගෙන් පෙලෙන්නාවූ සෑම සියලු දෙනාටමත් මේ විග්‍රහය බොහෝ උපකාර වේවි යැයි සිතමි. 

ඒ විතරක් නෙවේ ඉතින්, රෝග ඝණයට පිළිගන්නා ඉහත සඳහන් විවිධාකාර රෝග හැරුණු කොට ඩහදිය දැමීම, බඩගින්න, පිපාසය, මල මූත්‍ර පිටවීම ආදියත් මහා ලෙඩක් තමයි.  එහෙම නේද?  රෝග ලැයිස්තුවට නීත්‍යනුකූල ලෙස එකතු නොවූ එහෙත් පීඩා විඳින විට ලෙඩකට නොඅඩු දුකක් පීඩාවක් ලබාදෙන ඒ අනියම් ලෙඩ රෝගයන්ගෙන් පීඩා විඳින සැමටමත් මේ විග්‍රහය උපකාරයක්ම වේවි.