ගැඹුරු අරුත් නොදකින පෘතග්ජනයා

  18 නොවැම්බර් 2015

අන්ධ පුද්ගලයා සුදු වර්ණයට රැවටුණු උපමාවත් බුදු හිමියන් විසින්ම පෙන්වා දුන්න උපමාවක්.  එය උපමා කලේ "ආරෝග්‍ය පරමා ලාභා - නීරෝගීකම උතුම් ලාභයයි" යන බුදු වදනේ ගැඹුරු අර්ථය නොදැක නොදැන කායික නිරෝගීබවක් වෙනුවෙන් පැවසුවා යැයි අර්ථ පටලවාගෙන, අන්ධව භක්තියෙන් යුතුව දුන් අර්ථය පිළිගෙන කටයුතු කරන පුද්ගලයන් වෙනුවෙනුයි...

කලින් කලට පහල වූ බුදු පියවරුන් විසින් "නීරෝගීකම පරම ලාභයක්ය - නිවන උතුම් සුවයක්ය - ඒ නිවන ලැබීමට ඇති අරි අටඟි මඟ ක්ෂේමයයි" ලෙසින් පෙන්වා දුන්නාවූ ධර්ම කොටසේ පෙන්වා දුන්නාවූ නීරෝගීකමත්, නිවනත්, අරි අට මඟත් හඳුනාගන්නට නොහැකිවූ ඒ ධර්මාවබෝධයට පත්නොවූ අන්ධ පුද්ගලයන් වැනි වූ පෘත්ජන පිරිස විසින් ඒ ඒ පදයන්ට තමන්ට එදිනෙදා ජීවිතයේදී වැටහෙන තමන්ට තේරුම් ගන්නට හැකි සරල අර්ථ ලබාදුන්නා. 

අන්න එතකොට "නීරෝගීකම" කියලා කියන්නේ ඕනෑම දරුවෙකුට පවා වැටහෙන ආගම් භේදයක් නැතිව හඳුනන කායික නීරෝගීබව යැයි  සිතෙනවා. 

ඇයි එහෙම හිතෙන්නේ?  බැලූ බැල්මට මේ කය නිතර ලෙඩ වෙනවා.  එහි බොරුවක් නෑ.  ලෙඩ නොවන කයක් ඇතියවුන් නොමැති තරම්.  ඒ වගේමයි ලෙඩක් රෝගයක් හටගත් විට බොහෝ වියදම් යනවා, වෙහෙස වෙන්නට සිද්ධ වෙනවා, එදිනෙදා කටයුතු ඇණ හිටිනවා, රැකියාවක් කරගන්නට නොහැකි වෙනවා, පීඩාවට පත්වෙනවා, සිදුවන්නේ පාඩුවක්මයි.  එය අත්දැකීමෙන්ම වැටහෙනවා. 

ඔන්න එතකොට ලෙඩ නොවී ඉන්න තියෙනවා නම් කොතරම් හොඳයිද කියලා දැනෙනවා... ලෙඩක් රෝගයක් නැතිව පීඩාවක් නැතිව සිටීම තමන්ටත් තමන් වටා සිටින අන් අයටත් ලැබෙන ලාභයක්ම නේදැයි සිතෙනවා. 

අන්න එවිට ධර්මයේ බුදු හිමියන් පෙන්වා දුන්නාවූ "නීරෝගීකම පරම ලාභයක්ය" කියලා දැනගන්නට ලැබෙනවා.  එවිට සිතෙනවා මේ නම් කිව්වේ මේ ලාභය ගැනම තමයි... ඉහෙන් බහින ලෙඩක් නැතිව නීරෝගීව ඉන්න එකේ වටිනාකම තමයි බුදු හිමියන් වුනත් මේ කියන්නේ කියලා විශ්වාසයෙන් භක්තියෙන් යුතුව පිළිගෙන සැනසීමට සතුටට පත්වෙනවා. 

ඔන්න ඉතින් මේ සිද්ධියත් අන්ධ පුද්ගලයා සුදු පාටට හාත්පසින්ම විරුද්ධ වූ රෙද්දක් පොරවාගෙන සුදු පාටින් පිරිසිදු නිර්මල රෙදි කඩක් දරාගෙන සිටිනවා යැයි සැනසීමට සතුටට පත්වූවා සේමයි නේද? 

දැන් හිතන්න මඳක් දෙනෙත් පියාගන්න... ඔබ අන්ධ වූවෙක් යැයි සිතන්න... ඔබ හැඳගෙන සිටින රෙදි කඩ අතින් පිරිමදින්න... ඔබට එහි වර්ණයක් ගැන අදහසක් ගන්නට නොහැකියි නේද?  එහෙත් ඔබට එහි සිනිදු බව හෝ ඝන බව දැනෙනවා... එහි යම් රටාවක් වේ නම් එයත් දැනගන්නට හැකිවෙනවා... එහෙත් ඒ රෙදි කඩ පිරිසිදුදැයි දැනෙන්නේ නෑ... එහෙම නේද?

අන්න ඒ වගේ තමයි ධර්මයත්... ඔබ නිකම්ම නිකම් ධර්ම කරුණු ටිකක් පමණක් මතක තියාගත් විට, ඒ කරුණු වල සියුම් ගැඹුරු අර්ථය නුවණින් විමසා නොදකින විට, රෙදි කඩේ අතට හසුවන පමණින් රෙදි කඩ දැනගත්තා සේ ඔබට පහසුවෙන් දැනගන්නට හැකි සරළ අදහසක්ම පමණක් ලැබෙනවා.  එහෙත් සැබෑ අර්ථය වර්ණය වගේ...  පෙනීම නැතිව වර්ණය දැකගන්නට නොහැකියි වගේ ... පෙනීමක් නැතිව පිරිසිදුද අපිරිසිදුදැයි දැනගන්නට නොහැකි වගේ දහම් ඇස පහළ වීමකින් තොරව මේ ධර්මයේ සියුම් බව ගැඹුරු බව දැකගන්නට දැනගන්නට නොහැකි වෙනවා. 

අන්න එවිට අන්ධව මතුපිට අතගා මා වර්ණය දුටුවා... මා එහි පිරිසිදු බව දුටුවා යැයි විශ්වාස කරන්නට පටනගන්නවා.  නීරෝගීකම පටලවාගත් සේම නිවනත් අරි අටමඟත් පටලවාගන්නවා.  එයම පිරිසිදු බුදු දහම යැයි පවසමින් එය වැටහුණා යැයි ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුතුව පවසමින් සැනසීමෙන් සතුටට පත්ව කටයුතු කරනවා.