තරුණ මත

  18 නොවැම්බර් 2015

ඔබේ තරුණ කාලයේදී ඔබ වැඩිපුරම සිදුකල සහ ඔබ තරුණ වයසේ පසුවන්නෙක් නම් ඔබ කරගෙන යන වැඩපිලිවෙල සිහි කරගන්න... මේ මත්බවින් යුක්තයි නේද?

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියට හා වෙමින්... ඒවායේ ඇලෙමින් බැඳෙමින්... ඒවා නිසා කම්පනය වෙමින්... ඇස, කණ, දිව, නාසය, කය පිනවන ආශ්වාද ලබන්නට පොර කන... ආශ්වාද නොලැබූ කල ද්වේශයෙන් ගැටීමෙන් කටයුතු කරන... "මමත්වය" මුල්කරගත්තාවූ මත්වූ වැඩපිලිවෙලක ඔබ නිරත වෙලා ඉන්නවා නොවේද? 

තරුණ වයසේ ඔබට මේ දේවල් කියන්නට කරන්නට සිතන්නට බොහෝ ජවයක් ශක්තියක් තියෙනවා.  තමන්ගේ හිතන්නට හැකියාව හොඳින් පාවිච්චි කරලා නිරත වෙලා ඉන්නේම මත්වූ වැඩපිලිවෙලක් උදෙසා නේද? 

එසේ නම් ඔබ තරුණ කම නිසා මත්වූවෙක්!

තරුණ අවධියට පත්වූ සමහර කෙනෙක් "අනේ මගේ සිත එක එක ජාතියේ ඇලීම් බැඳීම් නිසා අසහනයට පත්වෙනවා... තරහාව ගැටීමට පත්වෙනවා... මමත්වයෙන් යුතුව මහා පීඩාවකට අසහනයකට පත්වෙලා තියෙනවා... ඉතින් මේ වගේ වැඩකට නැති ආශ්වාද වැඩපිලිවෙලක් වෙනුවෙන් මේ වගේ අසහනකාරී වැඩපිලිවෙලක් වෙනුවෙන් මාගේ තරුණ බව යොදා නොගත යුතුයි.  එසේ  කාලය නාස්ති කරගැනීම මහා බොරු වැඩක් ඒ නිසා මේ හිස් බවින් යුතු අසාර ජීවිතයෙන් මිදෙන්නට මා කටයුතු කරගත යුතුයි" තීරණය කරනවා. 

කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සත්ධර්මය ශ්‍රවණය කරන්නට තරුණ කාලය භාවිතා කල කරනවා.  මත්බවෙන් මිදෙන්නට කටයුතු කරගන්නවා. 

ඔබගේම වයසේ තවත් කෙනෙකුට ඒ තීරණය ගන්නට හැකි වී තියෙන්නේ ඔහුට පින් වැඩි නිසාවෙන් නොවේ.  ඔහු නැණවත්ව තමන් රැස්කරගත්ත පින් භාවිතා කරන්නට ගත් තීරණයයි. 

ඔබට පින් නැතැයි කිව්වේ කව්රුන්ද?  පින් මදි යැයි ඔප්පු කරන්නේ කෙසේද?  ඔබට තීරණය නිසි ලෙසින් ගන්නට සිහියක් නැතිබව සිහිපත් කරගෙන නිවැරදි තීරණය ගන්නට ඔබ ඔබවම අධ්‍යනය කල යුතුයි.

අන්න එයයි නියම තාරුණ්‍යය!  එයයි නියම තරුණ බව!  ඒ ටික කරගන්නට

නොහැකි නම් ඔබ "නොහැකියාවෙන්" පෙලෙන "නාකි" මහළු කෙනෙක්.  මහල්ලන්ට සිනාසෙන්නට මහළු බව පිළිකුල් කරන්නට ඔබට අයිතිය අහිමි වන්නේ ඒ ලෙසටයි.