දන්නා ලෙඩේට ගලපන්න

  18 නොවැම්බර් 2015

දැන් හොඳින් හිතන්න ඔබ දන්නා කායික රෝගයන්ගේ ස්වභාවය කුමක්ද?  මහා කරදරකාරීයි... පීඩාකාරීයි... සහනයක් ඇත්තේම නෑ... වේදනාවන්ගෙන් පිරිලා... උලකින් අනිනවා වගේ දුක්ඛිතයි...  කුමන ආකාරයකින් හෝ රෝගී තත්වයකින් පීඩාවක් ලබා අත්දැකීමක් තියේ නම් මේ ගැලපීම කරගන්නට පහසුයි.  එහෙම නේද?

ඉතින් එකින් එක ඉවරයක් නැතිව එන මේ "මම" මුල්වූ හැඟීම් සමුදායන් නිසා මහා අසහනයක්මයි දැනෙන්නේ... මහා බරක්... සිතිවිලි කොතරම් ආවත් මේ "මම මෙහෙමයි..." ආදී වශයෙන් "මම" මුල්කරගෙන එන "මමත්වයෙන් යුතු හැඟීම්" නම් ඔන්න රෝගයකට සමානයි නේද?  රෝගයක් පමණක් නෙවේ, බුදු හිමියන් එවැනි මානසිකත්වය සමාන කලේ ගඬුවක් වැනිය... උලක් වැනිය...  කියලායි. 

කායික රෝගී තත්වයක් හටගත් මොහොතේ පටන්ගෙන ඔබගේ මනස තුල ඒ රෝගය සම්බන්ධයෙන් "මමත්වය මුල්කරගත්ත හැඟීම්" කොතරම් නම් ඇතිවෙනවාද නේද? 

කායික රෝගී තත්වයක් නැතිවත් මනස තුල මේ කියන තත්වය නම් නොඅඩුව තියෙනවා එහෙම නේද? 

කයේ රෝගයක් තිබුණත් නැතත් මනස මේ විදියට සෑම මොහොතකම ඔබට මහා දුකක් අසහනයක් පීඩාවක් කරදරයක් හිරිහැරයක් ගෙන දෙන මහා බරක් ඔසවාගෙන සිටින ආකාරයෙන් කටයුතු කරනවා නම් ඒ රෝගය වඩාත් දරුණුයි නේද?  දැන් ඉතින් හිතන්න කයේ රෝගයට වඩා මෙන්න මේ හිතේ ඇතිවූ රෝගී තත්වය බරපතලයි නේද? 

ඉතින් මේ සිතේ රෝගය නොදන්නා නොදක්නා තාක් කායික නීරෝගීබවක්ම පතමින් ලාභයක් සොයනවා.  සිත සනසාගන්නට නම් කය සුවපත් විය යුතු යැයි විශ්වාස කරනවා.

කය සුවපත් නොවන තාක් සිතේ මේ රෝගී තත්වයත් දරුණු ලෙසින් උත්සන්න වෙනවා.   මුල හඳුනා නොගත් නිසාත් අදාල නොවන තැනට තාවකාලික ප්‍රතිකර්ම යොදන නිසාත් නිදන්ගත රෝගය ඔඩු දුවනවා.  ඉතින් සිතත් ලෙඩින්, කයත් ලෙඩින්... මෙය යහපත් තත්වයක්ද?  කායිකව නීරෝගී යැයි සිතන ඔබට දැන් හිතෙනවාද ඔබ නීරෝගී කෙනෙක් කියලා?