නීරෝගී මත

  18 නොවැම්බර් 2015

ඔබට කායිකව රෝගීබවක් නැතිව සිටින අවස්ථාව... ඔබ කායිකව නීරෝගී අවස්ථාවන් ඔබ යොදාගන්නේ කුමන ආකාරයේ වැඩපිළිවෙලකටද? දැන් ඉතින් සිහි කරගන්න...

කායිකව නීරෝගීබව පතන්නේ කුමකටද?  කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සත්ධර්මය ශ්‍රවණය කරමින් සසර දුක් කෙලවර කරගනිමින් සැබෑ නීරෝගීබව ලබන්නටද?

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියට හා වෙමින්... ඒවායේ ඇලෙමින් බැඳෙමින්... ඒවා නිසා කම්පනය වෙමින්... ඇස, කණ, දිව, නාසය, කය පිනවන ආශ්වාද ලබන්නට පොර කන... ආශ්වාද නොලැබූ කල ද්වේශයෙන් ගැටීමෙන් කටයුතු කරන... "මමත්වය" මුල්කරගත්තාවූ මත්වන වැඩපිලිවෙලටද? 

කායිකව රෝගී වී කය දුර්වල වනවාට ඔබ අකමැති ඇයි?  ඔබට සිද්ධ වෙනවා යැයි සිතෙන ඒ ආශ්වාද අලාභය නිසා නේද?

සිත අනන්ත රෝග සමූහයකින් වසංගතයකට මෙන් හසුව අසාධ්‍ය ලෙසින් රෝගීව තිබෙන කල... මත්වී පිස්සු කෙලින කල (කෙලින කල - මත්වී පිස්සුවෙන් කෙලි කවටකම් කිරීම / සෙල්ලම් කිරීම / හරයක් නැති දෑ කිරීම)... කායික නීරෝගීබවකින් ඔබට කුමන නම් සහනයක්ද? 

නුවණින් හිතන්න...  කායිකව නීරෝගීව සිටිනවා යැයි සිතමින් රෝගාබාධයන් පිළිකුල් කරනවා නම් කායිකව රෝගීවූවන් පිළිකුල් කරනවා නම් ඒ අයිති ඔබට අහිමි වන්නේ ඔබ ඔවුනට හා සමානවම ලෙඩෙක් නිසාමයි.