මඤ්ඤනාව (මමත්වය) රෝගයකි!

  18 නොවැම්බර් 2015

මඤ්ඤ ති,මඤ්ඤන්ත, මඤ්ඤමාන, මඤ්ඤනා, මඤ්ඤිත ආදී වචන වලින් අදහස් කරන්නේ "සිතීම, හැඟීම, වැරදියට ගන්නා වූ හැඟීම" වගේ අදහසක්.

කෙටියෙන්ම කියනවා නම් "මමත්වය" පිළිබඳව තමයි මේ කියන්නේ.  "මඤ්ඤංද?" කියන භාවිතය ඇවිත් තියෙන්නෙත් මෙන්න මේ ධර්ම වචනය ඔස්සේම තමයි.  හරියට "අනේ අනිච්චං!" කියන භාවිතය අප අතර තියෙනවා වගේ. 

"මමත්වය" මුල්කරගත්තාවූ හැඟීමකින් කටයුතු කිරීමට තමයි "මඤ්ඤනා" කරනවා කියලා කියන්නේ. 

ඉහත බුදු හිමියන් විසින් මෙය රෝගයක් විසින් පෙන්වා දුන්නා.  ගඬුවක් වගේ කියලා කිව්වා... උලක් වගේ කියලා කිව්වා... ඒ දේවල් වලින් අදහස් කලේ මෙම මානසිකත්වය තුල තිබෙන දුක්ඛිත ස්වභාවයයි.  පීඩාකාරී අසහනකාරී ස්වභාවය මතුකර දෙන්නට තමයි එසේ පෙන්වා දුන්නේ.

ඉතින් ඒ පෙන්වූ දේ ඇත්තක්දැයි අපගේ සිත ගැනම අධ්‍යනයකින් කෙටියෙන් හෝ තෝරාගෙන අනුමාන වශයෙන් හෝ වටහාගන්න උත්සාහ කරමු.

"මම" කියන අදහස මුල්වී "වෙමි" යනුවෙන් අදහසක් එනවා නම් එය හැඟීමක්.  ඉතින් "මම ලෙඩෙක්මි, මම රෝගයක් ඇත්තෙක්මි, මම නීරෝගී වෙමි, මම රෝගී වෙමි, ඉතින් බුදු දහමට අනුව නම් රෝගයක් ලෙසින් සලකන්නේ  මෙන්න මේ විදියට "මමත්වය" මුල්ව හිතෙන හැඟීම් සමූහයයි. 

කෙනෙක් "මම" ඉන්නවා කියලා හැඟීමක් ගන්නවා.  භාගෙට ධර්මය අසාගෙන නොගැලපෙන අර්ථ ගත් විට කෙනෙක් "මම" නෑ කියලා හැඟීමක් ගන්නවා.  මෙන්න මේ විදියට ඔබට ඔබ ගැනම "මම මෙහෙමයි... මම අරහෙමයි... මම මේ වගේ... මම මේ විදියට ඉන්න ඕන...මම කන්නේ මේවා... මම මෙහෙමයි අඳින්නේ....මේ මගේ රූපය... මම මෙහෙමයි කතා කරන්නේ... මම දුක් විඳින්නේ මෙහෙමයි" ආදී වශයෙන් නොකඩවා මොහොතක් මොහොතක් පාසා "මම" මුල්කරගත්තාවූ හැඟීම් කොතරම් නම් එනවාදැයි නුවණින් විමසා බලන්න...